Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ගෙදරට වෙලා ඉන්න අතරේ නෙට්ෆ්ලික්ස් එකෙන් බලන්න.. 2020 රිලීස් වුණ ඉන්දියන් වෙබ් සීරිස් 7ක්

තනි සීසන් එකේ වෙබ් සීරීස් 7ක්!

Posted by

සංචරණ සීමා නිසා ගෙදරට වෙලා ඉන්න මේ දවස් ටිකේ හොඳ ෆිල්ම්ස්, සීරීස් ටිකක් බලමු ද? මේ තියෙන්නේ ගිය අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් එකට රිලීස් වුණ හොඳ ඉන්දියන් වෙබ් සීරීස් 7ක්. මේ ඔක්කොගේම දැනට රිලීස් වෙලා තියෙන්නේ එක සීසන් එකක් විතරයි. ඒ නිසා බලන්න කම්මැලි හිතෙන එකකුත් නෑ!

Jamtara

සෞමේන්ද්‍ර පධි විසින් අධ්‍යක්ෂණය කරපු Jamtara, ඉන්දියාවේ එක්තරා දිස්ත්‍රික්කයක නොනවත්වා සිදු වෙන බැංකු මංකොල්ලයක් පිළිබඳව, සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වුණු, ක්‍රයිම් ඩ්‍රාමා ගණයට අයත් සීරීස් එකක්. මේකේ චරිතවල රඟපාන්නේ වැඩිපුර චිත්‍රපටවල දකින්න නොලැබෙන අන්කොමන් මූණු ටිකක්. ඒත් රංගනය, කතාව වගේ ම ප්‍රඩක්ෂන් එකත් සුපිරියි කියලයි ප්‍රේක්ෂකයන්ගේ අදහස. මේ සීරීස් එකේ එපිසෝඩ්ස් 10කින් යුතු එක සීසන් එකක් දැනට රිලීස් වෙලා තියෙනවා.

A Suitable Boy

ඉන්දීය ලේඛක වික්‍රම් සේත්ගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු A Suitable Boy බීබීසී ටෙලිවිෂන් මිනි සීරීස් එක මීරා නායිර් අධ්‍යක්ෂණය කළා. තාන්යා මනික්තාලා, තාබු, ෂහිඩ් කපූර්ගේ සොයුරු ඉෂාන් කට්ටර් සහ රසිකා දූගල් මෙහි ප්‍රධාන චරිතවලට පණ දෙනවා. 1951 හෙවත් ඉන්දියාව නිදහස ලැබූ කාලය පසුබිම් කරගත් මේ කතාව එකිනෙකට සම්බන්ධ උතුරු ඉන්දීය පවුල් හතරක් වටා ගෙතෙනවා. මේ සීරීස් එකේ එපිසෝඩ්ස් 6කින් යුතු එක සීසන් එකක් දැනට රිලීස් වෙලා තියෙනවා.

She

ඉම්තියාස් අලීගේ රචනයක් සහ නිර්මාණයක් වෙන She සීරීස් එකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ ආදිති පොහන්කර් සහ විජේ වර්මා. අධ්‍යක්ෂණය කළේ අරීෆ් අලී සහ අවිනාෂ් දාස්. එපිසෝඩ්ස් 7කින් යුතු එක සීසන් එකකින් සමන්විත මේක, ඩ්‍රග් ලෝඩ් කෙනෙකුට එරෙහිව දියත් වෙන මෙහෙයුමක යෙදෙන මුම්බායි පොලිස් නිලධාරිනියකගේ කතාවක්.

Mismatched

ආකර්ෂ් කුරානා සහ නිපුන් අවිනාශ් කියන අධ්‍යක්ෂවරු දෙන්නා නිර්මාණය කරපු Mismatched, එපිසෝඩ්ස් 6කින් යුතු එක සීසන් එකකින් සමන්විතයි. ඇමරිකාවේ පදිංචි ඉන්දීය ලේඛිකා සන්ධ්‍යා මෙනන්ගේ When Dimple Met Rishi කියන යොවුන් නවකතාව ඇසුරෙන් නිර්මාණය කරපු මේක, නව යොවුන් වියේ ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගත්ත, රොමැන්ටික් කොමඩි ගණයට අයත් සීරීස් එකක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රෝහිත් සරෆ් සහ ප්‍රජක්තා කෝලි.

Bad Boy Billionaires: India

කාලයක් ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තේ වැජඹිලා, පසුව තමන්ගේ ව්‍යාපාර කඩා වැටෙනකොට නීතියේ වගේ ම සමාජයේත් ඇස්වලට වැලි ගහලා සැඟවිලා ගිය, මූල්‍ය අපරාධකරුවන් බවට පත් වුණු ඉන්දීය බිලියනපතියන් කීප දෙනෙක් වටා නිර්මාණය වුණු ඩොකියුමන්ට්‍රි ගණයේ සීරීස් එකක් Bad Boy Billionaires: India. මේ සීරීස් එකේ දැනට රිලීස් වෙලා තියන සීසන් එකේ තියෙන්නෙ එපිසෝඩ්ස් තුනයි. ඩිලන් මෝහන් ග්‍රේ අධ්‍යක්ෂණය කරපු පළවෙනි එපිසෝඩ් එක විජේ මලයා ගැන. ෆෝස් ඉන්ඩියා ෆෝමියුලා වන් ටීම් එකේ වගේ ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රිකට් කණ්ඩායමෙත් හිමිකාරයා වුණ විජේ මලයා, කලක් ඉන්දීය පාර්ලිමේන්තුවත් නියෝජනය කළා. කිංග්ෆිෂර් එයාලයින්ස් ඇතුළු ව්‍යාපාර ගණනාවක් ඔහුට අයත් වෙලා තිබුණා.

දෙවැනි එපිසෝඩ් එක නීරව් මෝදි ගැන. අධ්‍යක්ෂණය කළේ ජොහැනා හැමිල්ටන්. කාලයක් ඉන්දියාව හොල්ලපු ජුවෙලරි බ්‍රෑන්ඩ් එකක් වුණ නීරව් මෝදි ජුවෙලර්ස් අයිතිකරු ඔහුයි. තුන්වැනි එපිසෝඩ් එක සුබ්‍රතා රෝයි ගැන. ඔහු තමයි කලක් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිල ඇඳුමේ ගහලා තිබුණ ‘සහරා’ නමැති ව්‍යාපාර ජාලයේ හිමිකරු. මේ එපිසෝඩ් එක අධ්‍යක්ෂණය කළේ නික් රීඩ්. Bad Boy Billionaires: India සීරීස් එක ඉන්දියාවේ පහුගිය අවුරුද්ද ඇතුළත වැඩි ම පිරිසක් නැරඹු ඩොකියුමන්ට්‍රි එක බවට පත් වුණා.

Indian Matchmaking

ස්ම්රිති මුන්ධ්‍රා අධ්‍යක්ෂණය කරපු, ඩොකියුමන්ට්‍රි ගණයට අයිති වෙන Indian Matchmaking සීරීස් එකේ දැනට රිලීස් වෙලා තියන සීසන් එක එපිසෝඩ්ස් 8කින් යුතුයි. මේකේ ප්‍රධාන චරිතය සීමා තපාරියා. විවාහ විශේෂඥයෙක් වෙන ඇය තමයි කතාව ඉදිරිපත් කරන්නෙ. තේරෙන භාෂාවෙන් කිව්වොත් මගුල් කපුවෙක්. ඇමරිකාවෙයි ඉන්දියාවෙයි ඉන්න තරුණ තරුණියන් ජෝඩු කරන එක තමයි ඇගේ රාජකාරිය.

Masaba Masaba

මසාබා ගුප්තා කියන ඉන්දීය ඇඳුම් නිර්මාණ ශිල්පිනියගේ සහ ඇගේ මව වෙන රංගන ශිල්පිනී නීනා ගුප්තාගේ සැබෑ ජීවිත ඇසුරෙන් නිර්මාණය වුණ Masaba Masaba, සෙමි ෆික්ෂනල් බයෝපික් එකක් විදිහට නම් කරන්න පුළුවන්. විශේෂත්වය තමයි මේකේ ප්‍රධාන චරිතවල රංගනයේ යෙදෙන්නෙත් ඒ දෙන්නාමයි. මේ සීරීස් එකේ ගිය අවුරුද්දේ රිලීස් වුණ සීසන් එකේ එපිසෝඩ්ස් 6ක් තියනවා. තිරරචනය සහ අධ්‍යක්ෂණය කළේ සෝනම් නායිර්.

Leave a comment