Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ලාංකික ඔබ දැන සිටිය යුතුම.. ලංකාවේ අච්චාරු වර්ග 9ක්

බත් එක්ක අච්චාරු!

Posted by

බත් පංගුවක රස වැඩි කරන ක්‍රම ගත්තම, අච්චාරුවලට හිමි වෙන්නෙ විශේෂ තැනක්. සැර, පැණි රස, ලුණු ඇඹුල්.. ඇතුළු රස වර්ග ගොඩක් කැටි වෙලා තියන නිසා අච්චාරුවක් ගෑවුණත් ඇති, බත් පිඟානක් ලේසියෙන් ම ගිල දාන්න පුළුවන්.

හෙට අනිද්දා දිහාට අලුත් අවුරුද්දත් එන එකේ, ලංකාවේ අපේ ආහාර සංස්කෘතියේ තියන ජනප්‍රිය ම අච්චාරු වර්ග ගැන ආයෙත් මතක් කරගන්න ඕනෙ කියල අපි හිතුවා.

සිංහල අච්චාරු

ඡායාරූපය: hadakari.com

අවුරුදු කාලෙට අමතක කරන්න ම බැරි කෑමක්. සිංහල අච්චාරු, ගස්ලබු/ පැපොල් අච්චාරු කියලත් හඳුන්වනවා. මේක හදාගන්න ලේසියි, ඒ වගේ ම හදන්න පාවිච්චි කරන්නෙත් සරල අමුද්‍රව්‍ය. හොඳ සරු ගස්ලබු ගෙඩියක් ඇරුණම අවශ්‍ය වෙන්නෙ රතු ලූනු, අමු මිරිස්, සුදු ලූනු, ඉඟුරු සහ අබ, කහ, ලුණු, ගම්මිරිස් වගේ කුළුබඩු කීපයක් විතරයි. 

රුහුණු අච්චාරු

ඡායාරූපය: Shikifood

බැදපු හාල්මැස්සෝ, රතු ලූනු, අමු මිරිස්, අබ, කෑලි මිරිස්, කහ, ලුණු, ගම්මිරිස් පාවිච්චියෙන් හදන රුහුණු අච්චාරුවට විනාකිරි චුට්ටකුත් දානවා. ඒ වගේ ම යන්තම් පැණි රසක් එන විදිහට සීනි පොඩ්ඩක් දාලයි මේක හදන්නේ. හදාගන්න ක්‍රමය බටු මෝජු හදන ක්‍රමයට හුඟක් සමානයි. අමුද්‍රව්‍ය ටික ගැඹුරු තෙලේ බදින්න. විනාකිරි පොඩ්ඩක් දාලා, සීනි සහ කුළුබඩු ටික තෙම්පරාදු කරගන්න. දැන් ඒකට අර බැදපු අමුද්‍රව්‍ය ටික එකතු කරලා විනාකිරි හිඳෙනකන් ලිපේ තියන්න.

මැලේ අච්චාරු

ඡායාරූපය: islandsmile.org

රතු ලූනු, රටඉඳි, අමු මිරිස්, අබ, ඉඟුරු, මිරිස් කුඩු, සීනි, ලුණු, විනාකිරි දාල හදන මැලේ අච්චාරු කටට සැර වගේ ම පැණි රසෙනුත් අනූන කෑමක්. නිකං බත් එක්ක වුණත්, ෆ්‍රයිඩ් රයිස් එක්ක වුණත්, බිරියානි නැත්තං නාසිගුරන් එක්ක වුණත් යහමින් ගැළපෙන ජාතියක් තමයි මේ මැලේ අච්චාරු.

ලුණුදෙහි

ඡායාරූපය: exploresrilanka.lk

ලුණුදෙහි හදන්න ඕනේ ජාති තුනයි. ලුණුයි, දෙහියි, විනාකිරියි. ඇඹුල් ම ඇඹුල් නිසා ලුණුදෙහි පොඩ්ඩක් ගෑවුණ බත් කටක තියෙන්නෙ අමුතු ම කික් එකක්.

පොළොස් අච්චාරු

ඡායාරූපය: pinterest.com

පොළොස් කියන්නෙ කරියක් විදිහට අපි ආස ම කෑමක්. ඒත් අච්චාරුවක් විදිහටත් පොළොස් මරු! රතු ලූනු, අමු මිරිස්වල දැවටිලා, ලුණු, ගම්මිරිස්, ඉඟුරු, සුදු ලූනු, අබ වගේ කුළුබඩුවල තැවරිලා, විනාකිරිවලින් පෙඟිලා එන පොළොස් අච්චාරුව, සැර, ඇඹුල කැටි වුණ නියම කෑමක්. තව සැරට ඕන නං අමු මිරිස් වෙනුවට කොච්චි වුණත් පාවිච්චි කරන්න බැරියෑ.

සුදු ලූනු අච්චාරු

ඡායාරූපය: knorr.lk

බැදපු සුදු ලූනු, අමු මිරිස්, විනාකිරි, අබ, ලුණු, ගම්මිරිස්, කහ, ඉඟුරු, මිරිස් කුඩු, සීනි (අවශ්‍ය නං) තමයි සුදු ලූනු අච්චාරුවෙ අමුද්‍රව්‍ය. කටට සැර ගතිය වගේ ම බඩගිනි වැඩි වෙන හොඳ සුවඳකුත් මේ අච්චාරුවෙ තියනවා.

රාබු අච්චාරු

ඡායාරූපය: Shikifood

රාබු අච්චාරුවට දාන අමුද්‍රව්‍ය වෙන්නේ හීනියට කපපු රාබු, විනාකිරි, රතු ලූනු, අමු මිරිස්, රතු මිරිස් සහ අබ, ලුණු, මිරිස් කුඩු, කහ, ඉඟුරු, සුදු ලූනු සහ කරදමුංගු. විශේෂයෙන් මතක් කරන්න ඕනේ, මේක හදද්දි මුලින් ඉඟුරු, සුදු ලූනු සහ අබ, විනාකිරි චුට්ටකුත් දාල ග්‍රයින්ඩ් කරලා, පේස්ට් එකක් බවට පත් කරගෙන ඉන්න ඕනේ. ඊළඟට මැටි වළඳක දාලා ලිපේ තියලා අනෙක් කුළුබඩු සහ අමුද්‍රව්‍ය එකතු කරන්න. කන්න කලින් දවසක් විතර උණුවතුරෙන් තම්බා වියළාගත් භාජනේක දාලා තියලා තියන්න. එතකොට අච්චාරුව වඩාත් රසවත් වේවි.

කෙසෙල්මුව අච්චාරු

ඡායාරූපය: Shikifood

හීනියට කපලා බැදගත්ත කෙසෙල්මුව, බැදපු රතු ලූනු, බැදපු අමු මිරිස්, බැදපු හාල්මැස්සෝ විනාකිරිවල දාලා, ඒකට අර කලින් කියපු ඉඟුරු - සුදු ලූනු පේස්ට් එක එකතු කරන්න. ඊළඟට ඒකට මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. ඒ වගේ ම විනාකිරි ටිකක් දාල අබ - සූදුරු - මාදුරු පේස්ට් එකක් හදාගෙන, ඒකත් අර කලින් මිශ්‍රණයට එකතු කළාම, අච්චාරුව සම්පූර්ණයි.

පාර අයිනෙ අච්චාරු

ඡායාරූපය: Indi Samarajiva

මේ අච්චාරු නං බත් එක්ක කන්නෙ නෑ තමයි. ඒත් මේක ඕන මූඩ් එකකට හරි යන මරු කෑමක්. මේව හදන්නෙ මොකක් හරි පලතුරු ජාතියක් පාවිච්චි කරල නේ. ‘යමු’ එකේ අපිට නං ඔෆිස් එක ළඟ ම අච්චාරු කරත්තයක් තියනව ඕං!

ඕන ම ජාතියක අච්චාරු හදද්දි ඇලුමිනියම් භාජන/ හැඳි පාවිච්චි නොකර ඉඳීම අත්‍යවශ්‍යයි. මොකද විනාකිරි ඇලුමිනියම් එක්ක ප්‍රතික්‍රියා කරන නිසා. අච්චාරු හදන්න සාමාන්‍යයෙන් මැටි භාජන තමයි පාවිච්චි කරන්නේ. ඉන් පස්සේ හොඳින් පැසවන්න, භාජනේ එහෙම ම සීල් කරලා තියන්න ඕනේ.

Leave a comment