Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

සිංහලෙන් ලියන සමකාලීන කවි කිවිඳියෝ - II කොටස

සිංහල කවියන් ගැන ලිපි මාලාවක දෙවැන්න

Posted by

සිංහල භාෂාවෙන් කාව්‍යකරණයේ යෙදෙන කවියන් කිවිඳියන් ගැන අපි පටන්ගත්ත ලිපි මාලාවේ දෙවැන්න මේ. එහි පළමු ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න. 

මෙවර ලිපියෙනුත් අපි ලංකාවේ දක්ෂ සහ ප්‍රවීණ කවියන් කිවිඳියන් 9 දෙනෙක් ගැන කතා කරනවා.

යමුනා මාලිනී පෙරේරා

හැමෝම දන්න විදිහට ඇය ප්‍රවීණ කිවිඳියක් වගේ ම ගීත රචිකාවක්. ගහක මල් පිපිලා, ආදරය සුන්දර වරදකි, සඳ කිනිති නැමී, පින්සර ඔබ හැර, සුළඟ නුඹ වගේ වැනි ජනප්‍රිය ගීත රැසක් ඇගේ අතින් ලියවී තිබෙනවා. අධිෂ්ඨාන, ණයට ගත් සාජ්ජය, කුලී මාළිගා, තිත්ත මකරන්දය, වා ගං දෑල, සඳ සමග සක්මනක ආදිය ඇගේ කාව්‍ය කෘතිවලින් කිහිපයක්. 

නවකතා වශයෙන් ඇය සේද නිම්නය, මිරිඟු මාළිගා, මල් පිළිම, නින්නාදේ, ඉනික්බිත්තෙන් ආදී කෘති පළ කළා. මීට අමතරව යමුනා මාලිනී පෙරේරා කෙටිකතා සංග්‍රහ කිහිපයක් සහ ළමා සහ යොවුන් සාහිත්‍ය කෘති කිහිපයක් ද රචනා කර තිබෙනවා.

මංජුල වෙඩිවර්ධන

‘බත්තලංගුණ්ඩුව’ නම් නවකතාවෙන් පාඨක සිත් ඇද බැඳ ගත් මංජුල වෙඩිවර්ධන, කවිය, කෙටිකතාව, නවකතාව, තිර රචනය යන ක්ෂේත්‍ර සියල්ලේ ම සැරිසරන්නෙක්. පිටුවහල් පිටු, නිරුත්තර සමාධිය, මධු සඳිනි මධුවිත, පිළිහුඩුවී, සුළඟට අවනත ව, සන්තාන ගීතිකා, ඇහැළ ඇමතුමකට ඇහැරෙමි ආදිය ඔහුගේ කාව්‍ය කෘති වනවා. බත්තලංගුණ්ඩුවට පසු ඔහු මගේ ආදරණීය යක්ෂණී, ඒ අහඹු අතීත හැන්දෑව සහ පැරිස් වලාකුළු නම් නවකතා තුන රචනා කළා. 

‘මේරි නම් වූ මරියා’ නමින් 2000 වසරේ දී ඔහු ලියූ කෙටිකතා කෘතිය වාරණයට ලක් වුණා. ඉන්පසුව ඔහු ශුද්ධ වූ ජුදාස් සහ, දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා නමින් කෙටිකතා කෘති දෙකක් ලියා පළ කළා. ඇහිපිල්ලමක් යට, සමනලුන්ට වෙඩි තියන්න, බොංචිගෙදර ඉන්ද්‍රජාල ආදී ටෙලිනාට්‍යවල තිර රචනා ද ලියූ මංජුල වෙඩිවර්ධන, දැනට ලංකාවෙන් බැහැර ව පැරීසියේ වාසය කරනවා.

කපිල එම්. ගමගේ

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කපිල එම්. ගමගේ, හේමන්ත නිද්‍රාව, අසික්කිතයාගේ සිහිනය, විසිරි වලාකුළු, තෙරියුම් කෝකිලා, මුහුදට මුහුණ ලෑ සොහොනකි ආදී කවි පොත් රචනා කළා. සෝදා පාළුව සහ තවත් කතා, අපරාදෙ ඒ නොවැම්බර් යන කෙටිකතා සංග්‍රහ ද, සන්නිවේදනය සහ මාධ්‍ය කලාවට අදාළ කෘති කිහිපයක් ද ලියූ ඔහු, කාව්‍යකරණය වෙනුවෙන් කිහිප වරක් සාහිත්‍ය සම්මානවලට නිර්දේශ වී තිබෙනවා.

සුනන්දා රණසිංහ

ප්‍රවීණ කලාකරු ධර්මසිරි ගමගේ විසින් නිර්මාණය කරන ලද පහන්වැට නිර්මාණ කේන්ද්‍රයෙන් කාව්‍යකරණයට පිවිසි සුනන්දා රණසිංහ, පහන් දොර, කටු යහන, ළා සඳ පාමුල, නිල් තුරු යට, රන්වන් පත් ආදී කවි පොත් රචනා කර තිබෙනවා. 2018 දී ඇය විසින් ලියැවුණු ‘තැනි බිමක සිහින ඉම’ කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වුණා. එසේ ම ඇය කුඩම්මා, ගිරි සිරස, රළ නමැති කෙටිකතා සංග්‍රහ ප්‍රකාශයට පත් කළා. වෘත්තියෙන් ගුරු උපදේශිකාවක ව සිටි ඇය, සිංහල විෂයානුබද්ධ පතපොත රැසක් ද ලියා තිබෙනවා. 

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් 

බොහෝ කවියන්ට වඩා වෙනස්, සුමට නොවූ බස් වහරක් භාවිත කරමින් කාව්‍යකරණයේ යෙදෙන නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියා, 2016 වසරේ දී ‘මයෙ අම්මෙ යමු යංඩ’ සහ ‘හිඟමං යැදීම තහනං’ නම් කාව්‍ය කෘති දෙක එළිදැක්වූවා. ඉන්පසුව ඔහු 2017 වර්ෂයේ දී ‘තෙල් නැතුව ඇවිලෙංඩ’ නම් කාව්‍ය සංග්‍රහය පළ කළා.

කුමාර හෙට්ටිආරච්චි 

1985 දී ‘සක්මන් මළුව’ නම් කාව්‍ය කෘතිය රචනා කරමින් කාව්‍යකරණයට පිවිසි කුමාර හෙට්ටිආරච්චි, භෂ්මාවශේෂ, රුවන් සක්මන, මහාද්වීපය, පාරජම්බුල, සඳකත් මිණි ගඟුල පත්ලෙ, සාරසියක් නියුට්‍රෝන ආදී කවි පොත් ලියා තිබෙනවා. එමෙන් ම විද්‍යා ප්‍රබන්ධ, විද්‍යා විෂයානුබද්ධ කෘති සහ වේදිකා නාට්‍ය කිහිපයක් ද රචනා කර ඇති ඔහු, දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වශයෙනුත් හඳුන්වන්න පුළුවන්.

රවී සිරිවර්ධන 

රවී සිරිවර්ධන ප්‍රවීණ කවියෙක් මෙන් ම ගේය පද රචකයෙක්. වසත් කාලය මනරම්, ඔබෙ සුසුම් පවන් සලයි වැනි ජනප්‍රිය ගීතවල පද රචකයා ඔහුයි. 2010 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ ‘වසත් කාලය’ ගීත කෘතියට අමතරව ‘ඉවුරු දෑලට එන්න’ නමින් ද ඔහු ගීත එකතුවක් පළ කොට තිබෙනවා. නඟුල් තරුව, පිළිසඳර, ප්‍රදීපාගාරයක ඇස් බැල්ම ආදී කාව්‍ය සංග්‍රහ ඔහු අතින් ලියවුණා. 

උපුල් සේනාධිරිගේ 

සියොතුනට එනු පිණිස, වැසි දිය බඳුන්, මෙමල් කළඹ ම නුඹ සතු, මතක නිම්නද වැනි කවි පොත් පළ කළ උපුල් සේනාධිරිගේ, දැනට සිටින දක්ෂ කවියෙක් වශයෙන් හැඳින්වීම නිවැරදියි. ඔහුගේ කාව්‍ය කෘති, සාහිත්‍ය සම්මාන උළෙල කිහිපයක ම අවසන් වටයට නිර්දේශ වුණා.

ප්‍රියන්ත කොඩිප්පිලි 

නිතර මුහුණු පොතේ සැරිසරනවා නම් ප්‍රියන්ත කොඩිප්පිලිගේ කවි ඇස ගැටී ඇති බවට සැකයක් නෑ. වරින් වර විවිධ පුද්ගලයන් සහ අවස්ථා ගැන එළිවැට සහිත ව පද ගළපලා අපූරු කවි ලියන ඔහු, ඒ කවි එකතු කරලා ‘කොඩි’ සහ ‘පිදුම සමරෙට’ නමින් කෘති දෙකක් පළ කළා. කාව්‍යකරණයේ යෙදෙනවා වගේ ම ඔහු ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙක් විදිහටත් කටයුතු කරනවා.

Leave a comment