Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

මේ දිනවල ලංකාවේ පැතිරෙන දරුණු වායු දූෂණය ගැන ඔබ දැනුවත් ද?

මේ තත්ත්වය ගැන අඩුම ගාණේ දළ නිවැරදි අදහසක්…

Posted by

ලංකාවට බලපාල තියන බරපතල වායු දූෂණ අවදානම ගැන තමයි මේ දවස්වල හැම තැනම කසුකුසුව. කනින් කොනින් එක එක ආරංචි එන නිසා මේ ගැන සත්‍ය තොරතුරු වගේම අසත්‍ය ප්‍රචාරත් පැතිරෙනවා. කොහොම වුණත් මේ තත්ත්වය ගැන අඩුම ගාණේ දළ නිවැරදි අදහසක් හැමෝම ළඟ තිබීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි මේ සූදානම් වෙන්නේ මේ දිනවල ලංකාවේ පැතිරෙන දරුණු වායු දූෂණය පිළිබඳව වැදගත් කරුණු කීපයක් ඔබට පැහැදිලි කරන්න.. 

මොකක්ද මේ වායු දූෂණය?

වායු දූෂණය (Air Pollution) යනුවෙන් හැඳින්වෙන්නේ පෘථිවියේ වායුගෝලයට හානි සිදු වීම ලෙස සරලව දැක්විය හැකියි. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, මීතේන් ආදී වූ විවිධ ගෑස් වර්ග මඟින් වගේම, දූවිලි අංශු, ගන්ධයන් ආදී දේවල් මඟිනුත් වායු දූෂණය සිදු වෙනවා. වායු දූෂණය පටන්ගත්තේ මිනිසා ගින්දර පාවිච්චි කරන්න පටන්ගත්ත දවසේ සිට බවයි සාමාන්‍යයෙන් පවතින අදහස. හැබැයි මේ වෙද්දී ඒ තත්ත්වය ඉක්මවා ගිහින් ඊට වඩා බොහෝ සෙයින් ගැඹුරට දිවෙන ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා.

මේ දවස්වල ඉන්දියාව

ඉන්දියාව කියන්නේ පරිසර දූෂණය අතින් කප් ගහපු රටක්. ලෝකයේ පරිසරය වැඩියෙන්ම දූෂණය වුණු නගර 30 අතරින් 22ක්ම ඉන්දියාවේ නගර බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා. ඒ අතරිනුත් දිල්ලිය බොහෝ කලක සිට අංක එක ස්ථානය හොබවනවා.

වසර ගණනාවක ඉඳන්ම ඉන්දියාවේ නවදිල්ලි නුවර සැලකෙන්නේ අවදානම් සහගත වායු දූෂණ තත්ත්වයක් පවතින කලාපයක් වශයෙන්. පහුගිය සතියේ මේ අවදානම් තත්ත්වය දරුණු ලෙස ඉහළ ගියේ වසර තුනකින් උදා වුණු දූෂිතම වායු තත්ත්වයන් වාර්තා කරමින්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත මට්ටමට වඩා පනස් ගුණයකින් වැඩි වායු දූෂණයක් ගිය සතියේ දිල්ලියෙන් වාර්තා වුණා.

ඒ අනුව නගරය දුමාරයෙන් වැසී යාම නිසා පාසල් වසා දමන්නටත්, ගුවන්තොටුපළට පැමිණෙන ගුවන්යානා පමා කරන්නට සහ හරවා යවන්නටත් බලධාරීන්ට සිදු වුණා. දිල්ලි නගරය ගෑස් කුටියක් බවට පත් වී ඇති බවට එහි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ප්‍රකාශ කළා. මේ සතිය තුළ ඉන්දියානුවන් නොයෙක් මාරාන්තික රෝගාබාධවලට ලක් වුණා.

හේතු

දිල්ලියට මෙහෙම කනගාටුදායක තත්ත්වයකට පත් වෙන්න සිදු වුණේ කොහොමද? මේක වසර ගණනක් පරණ ප්‍රශ්නයක් වුණත් මේ ගැන හුඟක් දෙනෙකුගේ ඇස් ඇරුණේ දැනුයි. මීට මූලිකම හේතුව විදිහට දැනට හඳුනගෙන තියෙන්නේ පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල ගොවීන් විසින් සිදු කරන මහා පරිමාණ වගාබිම් ගිනි තැබීම්. ඒ කියන්නේ, එක කන්නයක් වගා කරල අස්වනු නෙළලා ඉවර වුණාම ඊළඟ කන්නයට යන්න කලින් ඔවුන් තමන්ගෙ වගාබිම සුද්ධ පවිත්‍ර කරගැනීම සහ පස සකස් කරගැනීම සඳහා ගිනි තියනවා.

මීට එරෙහිව නීති පැනෙව්වත්, නීතියට පටහැනිව දිගින් දිගටම සිදු වූ ගිනි තැබීම් නිසා දරාගත නොහැකි තරමේ අධික දුමාරයක් දිල්ලිය පුරාත්, දකුණු ඉන්දියාව පුරාත්, ශ්‍රී ලංකාව දෙසටත් පැතිර එන්නට පටන්ගත්තා.

මීට අමතරව, පසුගියදා පැවති දීවාලි උත්සවය සඳහා භාවිත කළ ගිනිකෙළිවලින් නිකුත් වූ දුමාරය සේම, රථවාහන සහ කර්මාන්තශාලාවලින් පිට වන දුමාරයත් මේ තත්ත්වයට තවදුරටත් හේතු වුණු බව පරිසරවේදීන් අදහස් කරනවා.

ලංකාවට බලපාන්නේ කොහොමද?

වගාබිම් ගිනි තැබීම් ලංකාවෙත් ඉස්සර සිදු වුණත් දැන් දැන් ඒ තත්ත්වය අවමයි. ඒ හැරුණු කොට අලුතින් කැලෑ කපා ගිනි තබා අළුපොහොර මත ගොවිතැන් කිරීමේ ක්‍රමයක් ලංකාවේ පවතිනවා. ‘නවදැලිහේන්’ යනුවෙන් හැඳින්වෙන්නේ එවැනි හේන්. කොහොම වුණත් මෙහිදී නම් එතරම් පරිසර විනාශයක් සිදු වන්නේ නෑ. මොකද, කන්න කීපයක් වගා කළ පසු බොහෝ විට ගොවියන් නැවත ඒ බිමේ කැලෑව වැවෙන්නට ඉඩ හරිනවා.

ඉන්දියාවේ වගාබිම් දුමාරය ලංකාවට පැතිරෙන්න පටන්ගත්තේ පහුගිය පස් වැනිදා ඉඳන්. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපකය (Air Quality Index) මඟින් මුලින්ම එය ඒකක 163ක් වශයෙන් වාර්තා කළා. මෙම මාපකය පහත පරිදියි.

ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය මගින් වායුගෝලය නිරීක්‍ෂණය කිරීමේ දී පහුගිය දින දෙකේ කොළඹ නගරයේ දුවිලි අංශු ප‍්‍රමාණය 100%කින් ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තිබෙනවා. අවට පරිසරයේ මීදුමක් වැනි කිසියම් දුමක් පවතින බව කොළඹ පමණක් නොව, ලංකාවේ අනෙක් ප්‍රදේශවල වැසියන් පවා නිරීක්ෂණය කර තිබුණා. මේ දුම ආඝ්‍රාණය කරන්නන් අධික ලෙස රෝගී විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කොහොම වුණත් අද වන විට තත්ත්වය යම්තාක් දුරකට යහපත් අතට හැරුණු බවක් තමයි පේන්න තියෙන්නේ. මේ වන විට වායු තත්ව මාපකය ඒකක ප්‍රමාණය 78ක් ලෙස වාර්තා කරනවා.

කළ යුතු දේවල්

මේ අයහපත් වායු තත්ත්වය සමග ශ්වසන ආබාධ, හිසේ කැක්කුම්, කැස්ස, උගුරේ ආසාදන, වමනය ආදී රෝග පැතිර යෑමේ බරපතල අවදානමක් පවතිනවා. ඒ අනුව හැකි තරම් ගෘහාශ්‍රිතව සිටින ලෙස, පිටතට යන විට මුව ආවරණයක් පලඳින ලෙස සහ හැකි තරම් ජලය පානය කරන ලෙස වෛද්‍ය උපදෙස් සැපයෙනවා.

අවසාන වශයෙන්

අපි අපිම පරිසරයට කරපු දේවල් පාරාවළල්ලක් වෙලා අපිටම භුක්ති විඳින්න වුණ තවත් අවස්ථාවක් තමයි මේක. කොහොම වුණත් පවතින පාරිසරික තත්ත්වයන් ගැන හැකි උපරිමයෙන් දැනුවත් වෙන්න, ඒ වගේම තමතමන් ආරක්ෂා වෙන්න කියල අවධාරණය කරන්න ඕනෑ. අපි දැන් ජීවත් වෙන්නේ හුස්ම ගන්නත් දෙපාරක් හිතන්න සිද්ධ වුණු ලෝකෙක!

ඡායාරූප සහ රූප සටහන්: අන්තර්ජාලය ඇසුරිනි 
Leave a comment
Last 7 Days

Trending Today