Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ඉස්සො වඩේ ඇන්ඩ් නයිට් මේල් ෆුට් බෝඩ්! ‘කන්දෙපුහුල්පොල’ නිම්නය සොයා... 2 කොටස

“ඊඊඊ...න්න බ්‍රෑහ් යකොහ්... සීසීසීතටයි” මාත් එක්ක…

Posted by

“එතකොට දැන් මුලු කෝච්චියෙම රවුම ගහලද ආවෙ මාමා”

“ඔව් ඔව් මාත්තයා”

“කොහොමද අද බිස්නස්? දවසකට වඩේවලින් කීයක් විතර හොයනවද?”

“මාත්තයා... වඩේවලින් නම් දවසකට දෙදහ, තුන්දහ තමා. ඇබැයි සෙනඟ ඉන්න දවසට නම් අත්දාහත් හොයලා තියෙනවා”

“නෑ...? මාමා අපිවත් එච්චර හොයන්නෙ නෑනෙ දවසට, කොළඹ රස්සාවල් කරලවත්. එතකොට පවුලෙ ළමයි එහෙම?”

“කොල්ලයි. කෙල්ලො දෙන්නයි මාත්තයා. ඔක්කොම ඉස්කෝලෙ යනවා. ඒ කාලෙ නම් එළවළුවලින් අම්බකරපුවා ඇති වුණා. ඒත් දැන් වියදම සැරනෙ.

මාත්තයලා බදුලු යනවා?”

“ආ... ඔව් මාමා. අපී... පට්ටිපොල යන්නෙ. හෝර්ට්න් ප්ලේන්ස් යන්න කියලා”

“අප්පේ... මේ රෑ එළිවෙන්න? කමක් නෑ මාත්තයා. කොල්ලොනෙ, සීතෙට ජැකට් ඒම තියෙනවා?”

“ඔව් මාමා. ඒ ඔක්කොම හරි”

“මාත්තයා ඉතින් ඒ ගීන් එන ගමනෙ අපේ දිහා එන්ටකො. අපි නාවලපිටිය ඉස්ටේසමට කිලෝමීටර බාගෙන් වගේ ඉන්නෙ”

“හහ්... මාමා අපී... එහෙම්මම ඔහිය පැත්තෙන් බහින්න කියලා. ඒත් මාමාගෙ නොම්මරේ දෙන්නකො. අපි වෙන වෙලාවක එන්නම්.

ඒක නෙවෙයි මාමා, මාමා දන්නවද ඕලුගංතොට කියලා ගමක් තියෙනවා ඔය හෝර්ට්න් ප්ලේන්ස්වලින් එහා”

“ඕලුගංටොට...?”

උත්තරයක් නෑ. හැබැයි මනුස්සයගෙ කටකොනේ හිනාවක්!

“මොකෝ මාමා?”

“මාත්තයා, ඒ මගේ ගෑණීගෙ ගමනෙ. අපේ නෑයොත් ඉන්නවා එහේ... මාත්තයලා එහෙත් යන්න කියලා?”

“ආ... නෑ මාමා. මේ... ඉන්ටනෙට් එකේ ෆොටෝ ටිකක් දැක්කා. හරි ලස්සනයි නේ ඒ ගම?”

“අප්පා... මාත්තයා ලස්සනයි කියන්නේ... සත්තයි, දවසක යං. මං එක්ක යන්නං. අපේ මාමණ්ඩියගෙ කොරටු එහෙම තියෙනවා. ගියාම එන්ට හිතෙන්නෙ නෑ මාත්තයා.”

කතාව එතනින්, දිගින් දිගටම නාවලපිටිය වෙනකම්ම ගියා. නාවලපිටියෙන් මාමා බැහැලත් ගියා. අවසානය...

බැලින්නම් එයා කලින් වැඩ කරලා තියෙන්නෙ දැව සංස්ථාවෙ. සුළු සේවකයෙක් විදියට හිටියට ඔය කඳුකරයෙ හතර මායිමේම ටර්පන්ටයින්, පයිනස් කැළෑ ඉමක් කොනක් නෑර දන්නවා.

“හ්ම්... අනේ මන්දා බං. මේ ගමනෙ වෙනසක් වෙයි කියලා හිතෙනවා. බලාංකො අර මාමා සෙට් වෙච්ච විදිය. කොහේ ඉඳපු මනුස්සයෙක්ද? බැලින්නං අපි යන ඒරියල් එකේ නෑදෑයොත් ඉන්නවා”

“ඒ වුණාට බං... මතකනෙ දානිගල?. ඔය වගේ සුබ දේවල් මුලදි වෙන්නෙ අගදි අම්බානක නාන්න”

ඇත්තටම යාළුවගෙ ඒ වචනෙන් පස්සෙ මගේ කටත් වැහුණා. ඊටත් ටික වෙලාවකින් ෆුට් බෝඩ් එකෙන් ඇතුලට ඇවිල්ලා දොරවලුත් වහගත්තා, සීතල දෙගුණ තෙගුණ වෙන්න ගත්ත නිසා. ඒත් ඉතින් ඉතුරු පැයක හමාරක ගමනෙ නින්දක් දාන්නත් බෑනෙ…

කොහොමහරි අපි පට්ටිපොලින් බහිද්දි පාන්දර 4.30ට කිට්ටුයි. බලු බල්ලෙක් නෑ ස්ටේෂමේ. ඉස්ඉස්සෙල්ලාම කියලා ටොයිලට් එහෙම ගිහිල්ලා මූණකට හෝදගෙන... මාමාගෙ ටේස් වඩේ එක්ක ගෙදරින් රෑට කන්න කියලා ගෙනාපු බත්මුල් ටික ලිහාගෙන දෙසාබෑවා. දෙසාබාලා... මීදුම් අතරින් ලා එළිය වැටෙද්දිම ඔන්න රේල් පාරට...

“ඊඊඊ...න්න බ්‍රෑහ් යකොහ්... සීසීසීතටයි” මාත් එක්ක පිටිපස්සෙ පේලියෙ ගමනට සෙට්වුණු හරා.

“ඕඕඕ... යක්‍රො. මෝමෝනා කලන්නද? ඩැන ඩැනනෙ ආආවෙ. මෙහ්... සීසීගග් පත්තු කරා...න්කො”

එකක් කිව්වට ඇත්තටම අපි දෙන්නටම කල්පනා වුණා එකක් මදිවෙයි කියලා. ඒ නිසා වෙන්න ඕන යාළුවා මගේ අතටත් බ්‍රිස්ටල් එකක් දීලා, ඌත් එකක් පත්තු කරගත්තෙ. කිව්වට විශ්වාස කරන්න එදා ඒ හීතලේ තරම කියන්නේ... ඉස්සරහවුන් දෙන්නා පැය බාගයක් විතර යනකම් ම පිටිපස්ස හැරුණෙත් නෑ. කතාවකුත් නෑ. පිටිපස්සෙ ගියපු අපි දෙන්නත් දතකට පූට්ටු වෙලා අත් බැඳගෙන මෙලෝ සිහියක් නැතුව ගමනෙ.

ඒ විදියට යද්දී... 7ට විතර යාන්තම් ඉර අව්ව ටර්පන්ටයින් කැලේ එළිය කරන තැනක් සෙට්වුණා. අපි හරිහරියට එතනට ගැළපුනේ පොඩි රස්නයක් අල්ලගන්න කියලා. පැක් ටිකත් බිමට බාලා... ඉර අව්වට මූණයි, පිටයි මාරුවෙන් මාරුවට...

“කරා... තව කොච්චර තියෙනවද බං අපිට රේල් පාර දිගේ යන්න?”

“මචාං... තව කොහොමත් කිලෝමීටර දෙකක් වගේ ඇති. මම මැප් එක දාගත්තෙ නෑ. මොකද අර රේල් පාරෙ උසම පොට් එක කියලා තියෙන බෝඩ් එක ළඟට යනකම් යන්න කිව්වනෙ. එතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යද්දි පහලට අඩි පාරක් වගේ පෙනෙයි කිව්වා. එහෙම නැති වුණොත් ඊටත් ටිකක් ඉස්සරහට එන්න කිව්වා වතුර පාරක් බහින තැනක් තියෙනවලු. එතනින් කැලේට බැහැලා ඒක දිගේම ආවනම් හරි කිව්වා. ඒක කෙලින්ම ගමටලු එන්නෙ.”

“සිරාවට? ඒත් යකෝ මේ පහුගිය දවස් ටිකේ වැස්සක්වත් නැතුව වතුර පා තියෙයිද? අවුලක් නෑ අවුලක් නෑ යමංකො”

Leave a comment