Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ඌවේ පොඩි වළං කඩේ..! Uva Bath Kade

“පුතා තෝසෙ තියෙනවා දැන් දාන ඒවා.…

Posted by

‘හාල්අටු තැන්න’ කිව්වට එතන තැන්න හොයන එක නම් පාරෙ ඉඳන් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි.

හැබැයී.. බාග වෙලාවට හරි, බදුලු-කොළඹ ගමනෙ ගිමන් හරින්න හිතුනොත්?

නවත්තන්න නම් කියාපුම තැන. බෙරගලයි, හල්දුම්මුල්ලයි අතර තියෙන මේ අපූරු, පුංචි ටවුමෙ.. එක පැත්තකින් අහස සිසාරා යන කඳු මුදුන. අනික් පැත්තෙන් හම්බන්තොටට යනකම්ම පේන ගිණිකොන දිග බෑවුම.

අළුතෙන් දාලාද, ඉස්සර ඉඳන් තිබ්බද කියන්නවත් තරම් මතක නැති පුංචි පහේ කඩ ටිකක් තමයි හාල්අටු තැන්නෙදි අපිට හමුවෙන්නෙ. ඒ අතරින්.. අහම්බෙන් මුණගැහිච්ච ‘ඌව බත් කඩේ!’

හරි අපූරුවට, පොඩියට.. ගමේ රහට, ඌවෙ පහට කෑම ටික හැදෙන තැනක්.

අපිත් මෙතන නැවැත්තුවෙ බදුලු යන ගමනක. උදේ.. 7ට විතර.

“ඉස්සර නම් ඉතින් මේ පාරවල්වල සුද්දො එහෙ මෙහෙ යන කාලෙ රැයක් දවාලක් නැතුව කෑම කඩ තියෙනවනෙ. ඒත් දැන් එහෙම නෑ. අහම්බෙන්.. මේ වගේ තැන් තමයි.”

කියල හිතලයි ගොඩවුනේ..

ඒත් ගොඩවෙලා පොඩ්ඩ වටපිට බැලින්නම්නෙ..

ෂැහ්! ලොකු හෝටල් පරාදයි. උදෙන්ම වැඩට බැහැපු, කඩේ නැන්දයි මාමායි.. ගජරාමෙට උයනවා. ඒ උයන ගමන්ම..

ලස්සන හිනාවක් එක්ක..

“වාඩිවෙන්න මාත්තයා.. තේකක් බොනවද..? කෑම ටිකක් කනවද..?”

“ආ.. මාමා අපි කෑම ටිකක් කන්න කියලා. මොනවැයි තියෙන්නෙ?” 

“පුතා තෝසෙ තියෙනවා දැන් දාන ඒවා. එතකොට රොටිත් තියෙනවා, කිරිබතත් හරියාගෙන එන්නෙ.

දැනට කට්ට සම්බෝලයි, අල බිත්තර කරියි, චිකනුයි, පරිප්පුයි තියෙනවා..”

“බුදාම්මෝ.. අපිට එච්චර ඔ්න නෑ. ඔන්න ඔය තෝසෙයි රොටියි ගේන්නකො මාමා. ම්.. කරි නම් තියෙන හැම එකෙන්ම ගෙනාවත් කමක් නෑ. ආසයි අප්පා ඔයාලා ඔය විදියට මැටි ලිපේ උයනකොට කාලා බලන්න.”

“ඒක නං හැබෑ බං. උඹ දන්නවැයි? මැටි ලිපේ කිරිබතේ රස?

මාමා මට කිරිබත් කෑල්ලකුත් ගේන්ඩෝ…” යාළුවා ගත්තා එතනින් වාසිය.

කොහොම කොහොමින් හරි ඊට විනාඩි 5, 10ක් යන්න නෑ, මෙන්න සියල්ල මේසෙ උඩ. අපිත් ඉතින් දන්නැද්ද.. උණු උණුවෙ කෑමක් මේසෙට ආවාම?

පටන් ගත්ත පටන් ගැනිල්ලක් කියන්නෙ තෝසෙ 2යි, රොටියකුයි ඇසිපිය හෙලන සැණින් ඈ.. 

ආයෙ දර ලිපේ හොඳහැටි කරවෙලා.. අඟුරු රසත් ලාවට මතුවෙන්න.. 

පංකාදු පහයි! ඒ රොටිය විතරක් නෙවෙයි, තෝසයත් එහෙමනෙ. අනික ඊටම කියාපු කරි ටික. තම්බපු බිත්තරයක් දාගෙන අල හොදි ටිකකුයි, කට්ට සම්බලුයි එක්ක වැඩේ පටන් ගත්තෙ. හැබැයි කටට දෙකටම..

අනේ මන්දා ඒකට උම්බලකඩ දාලාත් නෑ, හැබැයි රස? මතක් වෙද්දිත් නිකම් දැනුත් කටට කෙල උනනව වගේ. හැරත් කිරි හොද්දටත් හොඳ හැටි කිරි දාලා, රම්පෙ කරපිංච, තුනපහත් අඩුවක් නෑ..

වැඩේ වුනේ පොඩියට කපලා ඉඟුරු, සුදුලූණු, සේර පවා දාලා, කණේ මයිල් කෙලින් වෙන ගානට සැර තියාපු චිකන් එකයී.. පරිප්පු හින්දුමයි..

සෙට් වුනානෙ තෝසෙ, රොටි, කිරිබත් තුනම කන්න.

හප්පා.. අන්තිමට බලද්දි කරි එකක්වත් ඉතුරු නෑ.. තෝසෙ 4යි, රොටි 2යි, කිරිබත් ඇතිලියෙන් බාගයක් විතර කාලා..

ඔය, දෙන්නා හොඳේ..!

Leave a comment