Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

මේ රට අයිති කාටද? #CoupLK

පහුගිය සිකුරාදා (27) ලංකා ඉතිහාසයේ පළවෙනි…

Posted by

කුමන්ත්‍රණ හරහා ආණ්ඩු මාරුවෙන එක අපේ කලාපයේ ගොඩක් රටවලට අලුත් දෙයක් නොවුණත් ලංකාවේ මෙච්චර කාලෙකට එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. ඒත් පහුගිය සිකුරාදා (27) ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඡන්දයක් හෝ පාර්ලිමේන්තුවේ බල පෙරළියකින් තොර ව ආණ්ඩු මාරුවක් සිද්ධ වුණා. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට විරුද්ධ උද්ඝෝෂණයක් තමයි අද (30) කොල්ලුපිටියේ දි පැවැත්වුණේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට සහ සිවිල් සංවිධානවලට අමතර ව, #CoupLK හෑෂ්ටැක් එකට ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ මාධ්‍ය හරහා එකතු වුණු ලොකු පිරිසකුත් මෙතනට ඇවිත් හිටියා.

ප්‍රමාණාත්මක ව වැඩි පිරිසක් ඇවිත් හිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් වුණත්, සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මුල්වෙලා කරන උද්ඝෝෂණවලට වඩා සෑහෙන සාමකාමී බවක් මේකේ දි දකින්න ලැබුණා. ලිබර්ටි වටරවුමේ වාහන ගමනාගමනය පවා කොයි වෙලාවකවත් සම්පූර්ණයෙන් අවහිර වුණේ නෑ. බීලා ලයිට් කණු දිගේ නගිනව දකින්න ලැබුණෙත් නෑ.

උද්ඝෝෂකයන්ගෙන් සමහරක්, තමන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී නොසිටින බවත්, තමන් පෙනී ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වෙනුවෙන් පමණක් බවත් කීවා. සාමාන්‍යයෙන් දේශපාලන උද්ඝෝෂණවලට සහභාගි නොවන ලොකු පිරිසක් මේකට එකතුවෙලා හිටියා.

රටේ මේ වෙලාවේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි හැමදාම දකින වර්ගයේ, බලය ලබාගන්න දේශපාලන පක්ෂවල අරගලයක් නෙවෙයි; ව්‍යවස්ථා අර්බුදයක්. ව්‍යවස්ථාව කියන්නෙ රටේ මූලික නීතිය. අපි හැමෝට ම යම් හෝ නීතිමය ආරක්ෂාවක් තියෙනවා නම් ඒක තියෙන්නෙ ව්‍යවස්ථාව පවතින තුරු විතරයි. දේශපාලනික ව ඔයා සහයෝගතය දක්වන්නෙ දැනට නීත්‍යානුකූල ව පිළිගත්ත අගමැතිටද, දැනට ඇත්තට බලය තියෙන අගමැතිටද, නැත්නම් වෙන කාට හරිද කියන එක මෙතනට අදාළ නෑ. රටේ පුරවැසියෙක් හැටියට ඕන කෙනකුට ඕන දෙයක් කරන්න පුළුවන්, නීතියක් නැති අරාජික තත්ත්වක් රටේ දකින්න ඔයා කැමති නැත්නම්, නීතියේ ආධිපත්‍යය ආපහු ස්ථාපිත කරගන්න එකතුවෙන එක ඔයාගෙ වගකීම. මොකද අපේ රටේ ස්වාධිපත්‍යය තියෙන්නෙ ජනාධිපතිටවත්, අගමැතිටවත්, කතානායකටවත් නෙවෙයි; ජනතාවටයි. එ් කියන්නෙ ඔයාටයි.

 

Leave a comment