4/5

Alhambra (Ramada)

Ground Floor, No. 30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 3


Alhambra is the Ramada Hotel's North Indian restaurant.


ළඟදී RAMADA කියල නම ගැහුවට කොළඹ රමාඩා හෝටලේට සැහෙන්න දිග ඉතිහාසයක් තියෙනවා. රමාඩා හෝටල් ජාලයට වැටෙන්න කලින් මේක අවරුදු 35ක් විතර තිස්සේ සුප්‍රසිද්ධ Holiday Inn හෝටල් සමාගම යටතේ තිබුණේ. ඊටත් කලින් නං මේක ජබීර් කාදර් මහත්මයාගේ යටතේ ඇතිවුණ අල්හම්බ්‍රා කියන සම්පුර්ණ ලාංකික හෝටලයක්. දැන් ඒ නම මතක්වෙන්න ඉතිරිවෙලා තියෙන්නෙ හෝටලේ මුල් කාලේ ඉඳලම පැවතෙන අල්හම්බ්‍රා උතුරු ඉන්දියානු රෙස්ටොරන්ට් එක විතරයි. අවුරුදු 40කටත් වැඩිය ආයුෂ රැකගෙන ඉන්න ඒ රෙස්ටොරන්ට් එක බලන්න අපිත් දවසක් ගියා.

තැන

රමාඩා හෝටලේ නං හොයාගන්න මොන අමාරුවක්ද, ගාලු මුවදොර වටරවුමෙන් ගොඩබිම පැත්තට යන පාරට හැරුණ ගමන් රමාඩා හෝටලේ තියෙනවා. ලොබියට ආපු ගමන් පොඩ්ඩක් දකුණට හැරිලා බැලුවම සාමාන්‍ය තරමේ දොරටුවක් පේනවා. එතනින් ඇතුළුවුණාම කෙළින්ම අල්හම්බ්‍රා රෙස්ටොරන්ට් එකටම තමයි.

මෙතනත් අග්‍රා රෙස්ටොරන්ට් එක වගේ සම්ප්‍රදායික ඉන්දියානු, නැත්තං මෝගල්, ආභාසයට අනුව ඇතුළේ ලස්සන කරන්න සෑහෙන්න උත්සාහයක් දරල තියෙනවා. බිත්තිවල කැටයම් කපල, බිතු සිතුවම් ඇඳලා, ලෝකඩ ලාම්පු, පැරණි මොස්තරේ පුටු මේස ඔක්කොම අමුත්තන්ව වෙනම කාලයකට එක්කං යනවා. මේ ඔක්කොම හෝටලේ මුල් කාලේ ඉඳලම රැකගෙන ආපුව වෙන්නැති; ලස්සනයි. හැබැයි මේස රෙදිවල ගෙවිච්ච තැන්, පැල්ලම් දැක්කම ඒවත් ඒ කාලේ ඉඳල රැකගෙන ආපු ඒවද කියලත් හිතුණ. ඊටත් වැඩිය අවුලකට තියෙන්නෙ බල්බ්වලින් එන අමුතු කහපාට එළිය. පහන් එළිය අනුකරණය කරන්න හදනවද මන්ද. ඊට වඩා හොඳයි ඇත්ත තෙල් පහන් එල්ලුව නං. ඒ එළිය මෙච්චර අමාරු නැහැ.

කෑම බීම

අපි ඉතින් මෙනුවෙන් කිහිපයක් ඔර්ඩර් කළා. ඊට පස්සේ මෙතනින් කෑම එනකං හප හප ඉන්න පොඩි පපඩම් වගේකුයි සෝස් දෙකකුයි ගෙනත් තිබ්බ. පපඩම් කිව්වට අපිට පුරුදු පපඩම්වලට වඩා මේවා තුනී නාන් වගේ. නරක නැහැ. මින්ට් චට්නි සෝස් එකත් හොඳයි. හැබැයි සියඹලා සෝස් එකනං සුපිරි ගණයේ. මාර රසයි. මේකත් එක්ක කට්ලට් සීයක් විතර කන්න තිබුණ.

සාරා පනීර් පකෝඩා (රු.600) එක ඕඩර් කළාට වේටර් මලයට ඕඩර් එක මාරුවෙලාද කොහෙද, ආවේ සබ්සි පකොරා එකක් (රු500) පනීර් පකොඩා කියන්නේ චීස් බැදල හදන කෑමක්, ඒත් අපිට ආවේ එළවළු බැදලා හදන කෑමක්. අවුලක් නෑ කියල කෑවා ඉතින්. වෙලාවට ඉවසල කාල බැලුවේ. මාර රසයි. පිටි දැවටුම කර කර ගාල හැපෙනවා. එළවලුත් අලුත් හින්ද රසයි.

අපි නාන් වර්ග දෙකක් ඔර්ඩර් කළා. එකක් කීමා නාන් එක (රු.500) මේකෙදි නාන් එකට බැටළු මස් පිරවුමක් දාල එන්නේ. නාන් එකනං සිරා. හොඳට බඩ පිරෙන කෑලි හතරක් ආවා. හැබැයි මස් පිරවුම නං හුඟක් ලෝබකමට බෙදල තිබුණේ. නිකන්ම නිකං නාන් කෑවා වගේ. කාශ්මිරී නාන් (රු.250) එකනං නැගල ගියා. මේක පැණිරස නාන් එකක්. කජු සහ චෙරි කෑලි පිරවුමක් තමයි මේකේ තියෙන්නේ. නාන් එක ගානට කරවෙලා වගේම හොඳ සුවඳකුත් දුන්නා.

අපි ප්‍රධාන ආහාරයට ගෙන්න ගත්තේ වෙන මොනවද ඉතින් බිරියානි මිසක්. මේකට කිව්වේ කුකුල් මස් සමග අවාදී කී බිරියානි (රු.950) කියල. මේසෙට ආවේ පොඩිම පොඩි මැටි මුට්ටියක. සෙල්ලං කළයක් සයිස්. ඒ සයිස් එකට අපි රැවටුණාට ඔයාල රැවටෙන්න එපා. මේකේ දෙන්නෙක්ට කාල ඉවර කරන්න බැරි තරං බිරියානි තිබුණා. අලියෙක් දාලද මන්ද එච්චර බත් ගොඩක් අර මුට්ටියට පැක් කළේ. ඉතින් බත් විතරද, ඒක ඇතුළේ කුකුල් මස් කෑලිත් තිබුණා. බත්, චිකන් එක්ක කුළුබඩු, වියළි මිදි, කජු ඔක්කොම එකට තම්බිලා හරිම සුවඳයි, හරිම මෙළෙක්, හරිම රසයි.

අතුරුපසට අපි රයිස් ඛිර් (රු.400) ගත්තා. මේක පායාසම් වගේ හැබැයි පුඩිමකට කිට්ටුයි. හාල්, ගිතෙල්, කජු, වියලි මිදි වගේ ඒවා දාල තමයි හදන්නේ. පැණි රසයි, කිරි රසයි හොඳට තිබුණ. ඒ වුණාට සාරාගේ කියපු හැටියට නං තව ගිතෙල් පොඩ්ඩක් අඩුවුණා නං හොඳයි.

සැර බිමත් මෙහෙ තියෙනවා. මෙනුවේ ජිප්සී කිස් (රු.575) කියල තිබුණ එක ඔර්ඩර් කරලා බැලුව. මේකට ජින්, ඇමරෙටෝ, දෙහි, සෝඩා සමබර වෙලා වදින්න ඕනේ. ඒත් මේකේ ඇමරෙටෝ ප්‍රමාණය හොඳටම වැඩියි. ඒකේ ආමන්ඩ් රස විතරමයි දැනෙන්නේ.

අවසානයට

අල්හම්බ්‍රා එකේ නං හන්දියේ සයිවර් එකේ මිල ගණන් නං බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් ඒ ගෙවන මිලට ලැබෙන්න ඕනේ මට්ටමේ කෑම බොහෝ විට ඔබට මෙහෙන් ලැබෙනවා. කවුරුහරි එක්ක ලස්සන තැනක ඉන්දියන් කෑම කන්න අවශ්‍යතාවක් වුණොත් මේ පැත්තේ ඇවිල්ල බලන්න.


TIP

A portion of Biriyani is more than enough for two people to share!

Address

Ground Floor, No. 30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 3

Directions

Take the right turn at the Galle Face roundabout (right after Inn On The Green), and Ramada will be on your right where the old Holiday Inn used to be.

Contacts

E-Mail



Latest