3/5

Anura's Restaurant

09, Lighthouse Street, Galle


A simple bistro down Lighthouse Street in Galle Fort.


කොරෝනා සිද්ධියත් එක්ක පාළුවට ගිය ගාලු කොටුවේ හිස් බව යන්තමට හරි නැති වෙන්නේ තැනින් තැන ඇරලා තියෙන රෙස්ටෝරන්ට්වලින්. ඉතින් දවල් කෑමට තැනක් ගාලු කොටුව ඇතුළෙන් හොය හොයා ඉද්දී තමයි අපට අනුරගේ රෙස්ටෝරන්ට් එක හම්බුණේ.

තැන 

ගාලු කොටුවේ ඇතුළට යද්දී මුණගැහෙන ලයිට්හවුස් ස්ට්‍රීට් එක පටන්ගන්න හරියේ ම තමයි මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. සුදු පාට ලී පුටු මේසවලින් අමුතු චාම් වයිබ් එකක් මෙතැනට ඇවිල්ලා තියෙනවා. වැස්ස නැති වෙලාවට කැමති අයට අවුට්ඩෝර් ඩයිනින් කරන්නත් පුළුවන්. 

කෑම බීම 

හප්පච්චියේ! බලන්න එපැයි මෙනුවේ තඩි. නැති දෙයක් නෑ ඇත්තමයි. පීසා, සැන්විච්, බර්ගර්, ව්රැප්ස්, ග්‍රිල් කරපු මස්, මාළු, රයිස් ඇන්ඩ් කරි වගේ ම බීම ජාතිත් තොගයක් - කෝපි, මොහීටෝ, ෆෘට් ජූස්, කොක්ටේල්ස් අනං මනං තොගයයි.

අපි වැඩේ පටන්ගත්තේ මෙන්න මේ Cheese, Egg and Tomato Sandwich (රු. 750) එකෙන්. දෙකට කපපු සැන්විච් දෙකක් එක්ක පොටැටෝ වෙජස් ටිකක් තමයි මේකට ලැබුණේ. ළාවට එන ගම්මිරිස් රසත් එක්ක චීසුයි බිත්තරයි මික්ස් වෙලා, තක්කාලිවලින් එන ඇඹුල් ගතියත් එකතු වුණා ම සෑහෙන්න හොඳ රසක් මේ සැන්විච් එකෙන් ආවා. පාන් එකත් හොඳට ටෝස්ට් වෙලා. කියන්න තරම් නරකක් නැතත්, විශේෂයෙන් කියලා සඳහනක් කරන්න නැති තරමට මේක සිම්පල්.

කැෆේ එකක් විදියට වගේ ම පීසා කඩයක් විදියටත් ප්‍රමෝට් වෙන තැනක් නිසා අපිත් හිතුවා මේ Supreme Pizza (රු. 1600) එක ගන්න. හැබැයි ඒක මේසෙට ආවම හිතුණා ඕඩර් කරපු මෝඩකම කියලා. කිව්වට විශ්වාස කරන්න, ඒක නිකන් පර්සනල් පීසා එකක් වගේ. අඟල් 8ක් වගේ ඇති වැඩිම වුණොත් පළල. පාට පාට බෙල් පෙපර්, චීස්, බ්ලැක් ඔලිව්ස් හොඳ ප්‍රමාණයක් දාලා තිබුණත්, මෙනුවේ පොරොන්දු වෙලා තිබුණු සලාමි, පෙපරෝනි එහෙම තිබුණේ ගොඩක් අඩුවෙන්. තිබුණු කෑලිත් බොහොම පොඩි සයිස් ඒවා. ඇත්තමයි අපට මතක් වුණේ ඊට කලින් දවසේ Shack Pizza එකෙන් කෑව චිලී බීෆ්-තන්දූරි චිකන් පීසා එක. මොකද ඒක ඔයිට වැඩිය ගාණත් අඩුයි වගේ ම දෙන්නෙක්ට කන්න පුළුවන් තරමට සයිස්නේ.

ඊළඟට අපි ට්‍රයි කළේ Grilled Tuna (රු. 1500). ගෙවපු ගාණේ හැටියට මේකේ පෝර්ශන් සයිස් එක බලද්දී නම් පාඩුවක් නැහැ. මොකද හොඳ මහතදෙහෙතට තියෙන ටුනා ෆිලට් දෙකක් ම ලැබුණා මේකට. එක ම අවුල වුණේ මාළුවලට උඩින් වත් කරලා තිබුණ සෝස් එක. හෙන ම ඔයිලි සෝස් එකක් ඒක. ඒ නිසා පිඟානේ අඩියේ තනිකර තෙල් ගොඩක්.

කොහොමින් කොහොම වුණත් මාළු එක නියම කොලිටියට ග්‍රිල් වෙලා. කරපිංචා, ලූනු සහ කෑලි මිරිස්වලින් හදපු සෝස් එකෙන් හොඳ රසක් ආවත් තෙල් ගතියෙන් ඒ රස කැපිලා යන්න බලන ගතියක් තිබුණා.

අපි බීමට ගත්තේ Iced Cappuccino (රු. 450) එකයි, Orange Mojito (රු. 700).

Iced Cappuccino එක ගොඩක් රිෆ්‍රෙෂින්. Lavazza කෝපි දාලා හදලා තිබුණේ. හැබැයි වතුර ගතිය පොඩ්ඩක් වැඩියි.

Orange Mojito එකේ දොඩම් ජූස් වගේ ම දොඩම් පෙතිත් කපලා දාලා තිබුණා. රස හොඳ වුණත්, රු. 700ක් ගෙවන්න තරම් වටිනවද කියන එක ගැන අපි තවමත් කල්පනා කරනවා.

සර්විස් එක

රෙස්ටෝරන්ට් එකේ ස්ටාෆ් එක නම් ගොඩක් හොඳයි. අපට වෙලාව හොඳට අරගෙන ඕඩර් කරන්න චාන්ස් එක දුන්නා වගේ ම, කෑම බීම ටික පටපට ගාලා මේසෙට එව්වා.

අවසාන වශයෙන්

ගාලු කොටුව ඇතුළේ කෑම කොහොමත් ගණන් තමයි. ඒත් ගෙවන මිලට මීට වැඩිය පොඩ්ඩක් වටිනාකම දෙන්න අනුරගේ රෙස්ටෝරන්ට් එකට පුළුවන් නම් තමයි ගොඩක් හොඳ. අපට දැනගන්න ලැබුණු විදියට මේක කට්ටියගේ රයිස් ඇන්ඩ් කරි තමයි ගොඩක් ම ප්‍රසිද්ධ. ඉඩක් ලැබුණොත් ට්‍රයි කරලා බලන්නකෝ.



Latest