4/5

Bamboo Room

123 Kumaran Ratnam Road, Colombo 02


The Bamboo Room is a new restaurant that is a part of the Hotel Nippon, specialising in Kerala Cuisine.


ඔය කොළඹ තියෙන ගුවන් හමුදා මූලස්ථානය එහෙම පහුකරගෙන, කුමාර රත්නම් පාර දිගේ ඇදෙනකොට වම් අත පැත්තෙන් පාස් වෙන පරණ තාලේ හෝටලය මීටර් ද? දැන් හෝටලයක් වුණාට, මේක ඉස්සර හැඳින්වුණේ Manning Mansion කියලා. 16වෙනි ශතවර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු පෘතුග්‍රීසින්, අප්‍රිකාවෙන් ගෙනාව වහල්ලුන්ව රඳවන්න මේ බිල්ඩිම පාවිච්චි කරපු බවට ඉතිහාසයේ සඳහන් වෙනවා.

කොහොමින් කොහොම හරි මේක දැන් හෝටලයක්. නිපොන් හෝටලය කියලා තමයි හැඳින්වෙන්නේ. නැවතීමේ පහසුකම්, උත්සව ශාලා පහසුකම් එක්ක, රෙස්ටෝරන්ට් කීපයකුත් මෙතැන තියෙනවා. ඒ The Cabinet, the KAFÉ, සහ Bamboo Room විදියට. ඔන්න ඕවා අතරින් Bamboo Room එක ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.  

තැන

නිපොන් හොටෙල් එකේ සේරම රෙස්ටෝරන්ට් තියෙන්නේ ඒකෙ පහළ තට්ටුවේ. අපි මේ කියන බැම්බූ රූම් රෙස්ටෝරන්ට් එක බොහොම ඉඩකඩ තියෙන තැනක්. පවුල් පිටින් ආවත් කෑම ගන්න පුළුවන් විදියට ඉඩකඩ තියෙනවා. ඔය හිල්ටන්, ගලධාරිවල තරම් අමුතු සුකුරුත්තන් නැතත්, මෙතැන වාතාවරණය ගොඩක් හොඳයි.

කෑම බීම

බැම්බූ රූම් රෙස්ටෝරන්ට් එක වෙන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් සහ ඒෂියන් කෑමවලටමයි. බුෆේ ඕනේ නම් එහෙම ගන්න පුළුවන්. ඒ නැත්තන් මෙනුවෙන් කෑම තෝරලා ගන්නත් ඇහැකි. අපි එයාලගේ මෙනුවෙන් කෑම කීපයක් ඕඩර් කළා.

ෂහ්! බැම්බූ රූම් එකේ “චිකන් ලම්ප්‍රයිස්” (රු.576) එක තමයි සිරා ම. කිසිම අඩුවක් පාඩුවක් නැතුව හදපු එකක්. කෙසෙල් කොලේ ඔතපු බත් එකෙන් එන සුවඳ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් කරාබු නැටි, එනසාල් වගේ දේවල් හොඳින් එක්කාසු කරපු මේ බතේ ඒ සුවඳ තවත් වැඩියි. බත නියම ගානට තැම්බිලා තිබුණා. වම්බටු මෝජු එකත් මරු; ළා පැණි රසත් එක්ක හැපෙන්නේ. අළු කෙසෙල් පැහියත් හරි ම රසයි. කුළුබඩු එක්ක මික්ස් වුණු පිටි ගතිය මේ අළු කෙසෙල්වලින් අඩුවක් නැතුව දැනුණා. ඊළඟට තව තිබුණා කෑලි මිරිස් එහෙම යහමින් දාපු සීනි සම්බලයකුත්. කියන්න තරම් විශේෂ රසක් නැතත්, මේකට තඩි චිකන් කෑල්ලක් ලැබුණු බවත් කියන්නම ඕනේ. සේරමත් හරි, මේකේ උම්බලකඩ බැදුමට අපි වහ වැටුණා කියන්නකෝ. අම්මපා! මේ උම්බලකඩ බැදුම තියෙනවනම් කන්න බැරියැ බත් බුසලක් වුණත්.

දිනිති ගත්තේ “එග් ෆ්‍රයිඩ් රයිස්” (රු.307) එකක්. සාමාන්‍යයෙන් ඔය පාරේ අයිනේ තියෙන කඩවල්වලින් හම්බවෙන එග් ෆ්‍රයිඩ් රයිස්වලට වඩා හොඳ සීසනින් එකක් මේ බත් එකේ තිබුණා. ඒකත් ඔය අජිනොමොටෝවලින් එනවා වගේ එකක් නෙවෙයි. තනිකර ම මේකට එකතු වුණු කුළුබඩුවලින් එන රසක්. ඒ හැටි තෙල් ගතියකුත් නැහැ. එක ම අවුල මේකේ ලුණු ගතිය පොඩ්ඩක් විතර වැඩියි.

අපි තව “ස්වීට් ඇන්ඩ් සවර් ප්‍රෝන්ස්” (රු.691) එකකුත් ඕඩර් කළා. මේසෙට ආවට පස්සෙනේ දැනගත්තේ, ඕනේ නම් මේක සෝස් එකයි, ඉස්සෝ ටිකයි එකට මික්ස් කරලත් ගන්න පුළුවන් කියලා. කොහොම වුණත් මේ ස්වීට් ඇන්ඩ් සවර් සෝස් එක නම් මාර සිරා ඈ! අන්නාසිවලින් එන ඇඹුල් රසයි, පැණි රසයි මේ සෝස් එක පුරාවට ම කිසිම අඩුවක් නැතුව තිබුණා. ඉස්සන්ගේ වටේ තිබුණු දවටනයත් හොඳයි. ක්‍රිස්පි ගතියට කන්න ඇහැකි. වෙන වෙනම නොතියා, මේ සෝස් එකයි ඉස්සෝ ටිකයි එකතු කරලා මේ කරිය හැදුවා නම්, මීට වඩා රස වෙන්න තිබුණා කියලයි අපේ අදහස.

අපි තව ගත්තා "වෙජ් කුරුමා" (රු.380) එකකුත්. හොඳ උකු හොද්දක් මේකේ තිබුණා. ඒ විතරක්යැ, කැරට්, බෝංචි, කරපිංචා වගේ දේවල් යහමින් එකතු කරලා නිසා සුවඳත් හොඳයි. හොද්ද පුරාවට තිබුණේ කිරි රසක්. ඒත් කුළුබඩු අඩු ගතිය නිසා අපට මේක ඒ තරම් ඇල්ලුවේ නැහැ.

ඔන්න තියෙනවා සුපිරි ඩෙසර්ට් එකක්; “ලාවා කේක් විත් වැනිලා අයිස් ක්‍රීම්”! මේක ඔය පීසා හට් එකේදී කන්න ලැබෙන ලාවා කේක්වලට වඩා සෑහෙන්න හොඳයි. චොකලට් රස හොඳට ම තිබුණා. අනික කේක් එකත් හොඳට ම සොෆ්ට්. අර මැද්දට දාලා තියෙන මෙල්ටඩ් චොකලට් ප්‍රමාණය වැඩි වුණා නම් තමයි තවත් මරු. වැනිලා අයිස්ක්‍රීම් එකේ නම් කියන්න තරම් අමුත්තක් නැහැ. අපට හොඳට පුරුදු එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් එකක්.

සර්විස් එක

අපි බැම්බූ රූම් එකට ගොඩවෙනකොට එතැන අතුරු සිදුරු නැතුව පිරිලා. මොකද ලන්ච් බුෆේ එක තියෙන වෙලාවනේ. ඒ කලබලේ නිසා ම, අපේ කෑම සේරම මේසෙට එන්න විනාඩි 15 - 20ක් විතර ගත වුණා. හැබැයි ස්ටාෆ් එකේ ඉන්න අය නම් හරි ම මිත්‍රශීලියි. තමන්ගේ තැනකට ගියා වගේ සලකනවා.

අවසාන වශයෙන්

කටට රහට, අපේ ට්විස්ට් එකට හදපු කෑම වේලක් ඕනේ නම් බැම්බූ රූම් කියන්නේ ඒකට නියම තැනක්. අපි දෙන්නගේ මුළු කෑම වේලට ම ගියේ රු.3000ක් වගේ ගාණක්. තැනේ හැටියටයි, කාපු කෑම තොගයයි සලකලා බැලුවා ම, ඒ ගාණ කිසිම පාඩුවක් නැහැ.


TIP

They have some delicious lamprais.

Address

123 Kumaran Ratnam Road, Colombo 02

Directions

It's a large colonial style building on Kumaran Ratnam Mawatha and it's difficult to miss.

Contacts

Website Facebook

Open until 03:00 PM

Cuisine

South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice Eggs Vegetarian Biriyani Chicken Fish Ice Cream Alcoholic



Latest