4/5

Banana Leaf (Dehiwala)

88, Galle road, Dehiwala

Get it delivered on Pickme Food

The Dehiwala branch of OG Banana Leaf.


කලින්දා බැරිවුණා කියල අපි අතඅරිනවද යාළු, අතඅරිනවද?

නෑනෙ නෑනෙ.

පුදුම අමාරුවක් තියෙන්නෙ. එච්චර වැස්ස තියාගෙන, ඊයෙත් ගියා කියන්නකො බුක් ෆෙයාර්. හැබැයි ඒ ගියාට කලින් දවසෙ වගේ එහෙ මෙහෙ කැරකි කැරකි නම් හිටියෙ නෑ. කෙළින්ම ගොඩවුණා අදාළ ස්ටෝල් ටිකට. ගොඩවෙලා තෝරල කරල ගත්ත ඕන කරන පොත්වලින් බාගෙට බාගයක් ම.

වැඩේ කියන්නෙ, ඒ අරගෙන එළියට බහිද්දිනෙ... කිරි අප්පේ, අනෝරා එකේ ලොකු එක. දෙනව යාළු... මැද විල, වටේ වෙල වෙන්න. එන්න බෑ හොඳේ අර බීඑම්අයිසීඑච් එකේ ඉස්සරහ ටිකේ. අන්තිමට සපත්තු අතේ අරගෙන, කලිසම් කරේ තියාගෙන...

ඇවිල්ල ඔන්න බොහෝම අමාරුවෙන් වාහනයක් ලයින් කරගෙන ගොඩවුණා..

“දැන් කොහෙද බං යන්නෙ?”

“යන්නෙ? අඩෙහ්, ඒක කල්පනා කරන්න බැරි වුණානෙ. හැබැයි කොහේ වුණත් කන්න තියෙන තැනක් වෙන්න ඕන. මං කියන්නද. අල්ලමුද දෙහිවල අලුතෙන් දාපු බනානා ලීෆ් එකට. උබට ගෙදර යන්නත් ලේසියිනෙ”

“හෑ... දෙහිවල එහෙම එකක් දාලද බං. මං දන්නෑනෙ. යං යං, ආයෙ මොන කතාද”

කිව්වට, ට්‍රැෆික් එකේ... එපා වෙලා... ඒ පැත්තට කිට්ටු කරද්දි රෑ අටටත් කිට්ටුයි. වෙලාවට කඩේ ඇරල තිබ්බෙ. තව පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා නම් කඩෙත් වහනව.

කොහොම හරි සනික ගිහින් වාඩිවෙලා හුරු පුරුදු මෙනුවෙ, දන්න කියන තැන් ටිකට ම ඇහැ දැම්ම.

“මල්ලි කට්ල් ෆි..”

“සොරි සර් කට්ල්ෆිෂ්, ප්‍රෝන්ස් නම් ඉවර වුණානෙ. මේ දැං ඉවර වුණේ. හැබැයි සර් ක්‍රැබ් තියෙනව. මට්න්, චිකන්, ෆිෂ්..”

“ෂැහ්, එහෙමද. කන්න කියල ම බලාගෙන ආවෙ. කමක් නෑ, ඒනම් ක්‍රැබ් බිරියානි එකකුයි (රු. 600), මික්ස් කොත්තුවකුයි (රු. 800) ගේන්නකො. ආහ්, ඒකයි... මට්න් කරියකුත් (රු. 550) ගේන්න හොඳේ”

ඕඩරේ දැම්ම.

දාලා... බැලුවෙ වටපිටාව. සේවක මල්ලිල දෙන්නෙක් සිනාමුසු මුහුණින් ගජරාමෙට වැඩ. කෝකි මහත්තයත් කෑම කාමරේට එනව යනව. ඒ විතරක් නෙවෙයි, මැනේජර් මහත්තයද කොහෙදත් යන එන කට්ටියත් එක්ක සුහද කතාබස්වල. අර ප්ලේස් එක අලුත් නිසා වෙන්න ඕන, කොහොමහරි ඉන්ටිරියර් වැඩ නම් තවම ඉවර නැති පාටයි. 

ඒත් මොකෝ කියල අපි වැඩේට බැස්සෙ, කියල විනාඩි පහට මේසෙට ආපු බිරියානියයි කොත්තුවයි නිසා. ඇයි අප්පේ... උණු උණුවට දුම් ද දා.. අනික ක්‍රැබ් එකයි, මට්න් එකයිත් දැක්කාම කටට කෙළ උනන ගානටනෙ.

යාළුව කොත්තුවෙන් ඇරඹුම. මම කෙළින් ම බිරියානියට. ඒ කොහොම වුණත් දෙන්න ගජරාමෙට.., මට්න් එකටත්!

හොදි ටිකක් එහෙමත් දාගනෙ පටන් ගත්තා... පටන්ගත්ත, පටන්ගත්තමයි යාළු. ආයෙ බත්කටවල් 2, 3, 4, 5 සනි සනික බහින්නෙ බඩට. ඒ අතරට හායි හූයි ගගා, කූල් වතුරත් බිබී...

මට්න් කෑල්ලක් දෙකක් කෑවා... ඒක නම්, හම්මෝ... කොල්ලුපිටියෙ එකටත් වඩා හොඳයිද මන්දා. දාලා තියෙනව මිරිස් තුනපහ, රම්පෙ කරපිංච ටික ලෝබ නැතුව. හැබැයි එහෙමයි කියල, කරි රස විතරක්මත් නෙවෙයි. හොඳ ෆ්‍රෙෂ් මට්න් රසකුත් එනව. 

ඊටත්, ඒකට දෙවනි නැති කකුළුවත් නොම්මර එකටනෙ. හැබැයි ඒකෙ නම් සැර ටිකක් අඩුයි, කිරි, තුනපහ රස තමයි හොඳ හැටි තියෙන්නෙ. බාග වෙලාවට... පොඩි අවුලක් වගෙත්ද මන්දා. මොකද හොද්දෙ නෑනෙ කකුළු රස හරි හැටියට. ඒත් ඉතින් කට්ට හපල මස රස කරද්දි නම්.. පංකාදුයි ඈ..

ඒ වගේම තමයි බිරියානියෙ බතත්. සම්බා හාලෙ බත වුණාට රස පදමට හදල තියෙනව. අනික ඒ බතට, එයාලගෙම උම්බලකඩ සම්බෝලෙයි, කජු ග්‍රීන්පීස් මාළුවයිත් එකතු වුණාම.. කන්න පුළුවන්නෙ බඩ කට පිරෙන්න.

එහෙම කාලා ඉතින්, මනුස්සකමට බිරියානි බාගයක් යාළුවට තියල මම බැස්ස කොත්තුවට.

ෂප්පේ... කටයි දෙකයි කෑවෙ පත්තු වුණා රඹටි හැලෙන්න. අවංකයෙන්ම සුපිරිම කොත්තුව ඈ යාළු. මස් මාළු නම් දාලා තියෙනව, පොල්කටු හැන්දෙන්න මන්දා. ගන්න ගන්න කටට මොකෙක් හරි සතෙක්. ඊටත් මම කල්පනා ක‌ළේ ඉස්සො දැල්ලො නැතුව මෙහෙම නම්... තියෙද්දි?

හප්පෝ.. අනික එළවළු අඩුම කුඩුමවලින් අඩුවක් කියලයැ. බිත්තරත් හොඳ හැටියට.

ඔක්කොමත් හරි බලන්න එපැයි ඒකට මට්න් හොදි ටිකක් එකතු වුණාම!

අන්තිමට දෙන්න වැල කාපු රිලව් වගේ... එතනමයි, එතනමයි. යා ගන්න බැරුව...

ඒකත් නිකම් ඉන්න බැරි කමට ගත්ත වටලප්පමකුත්.

අන්න වැඩ වරද්ද ගත්ත තැන.

අයියෝ... මොකක්ද ඒ කරගත්ත මෝඩ කමක් කියල හිතුණ. ඒකෙ හකුරුත් නෑ, කිරිත් නෑ... මං දන්නෑ මහ සවුත්තු වටලප්පමක්. අර කාපුවයෙ රසත් එක්ක අල වෙලා ගියේ... හ්ම්...


TIP

Try Mutton


Latest