4/5

Barcode Grill and Lounge

377A Nawala Rd, Sri Jayawardenepura Kotte


A wonderful choice for platters of grilled meat paired with BYOB.


නාවලට ආව අලුත් ග්‍රිල් එකේ නම Barcode Grill and Lounge. මේක යස පදමට එක එක ජාතියේ මාළු මස් ග්‍රිල් කරනව විතරක් නෙවෙයි, ඒවා කන ගමන් බොන්න ගෙදරින් වුණත් බෝතලයක් ගේන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ BYOB ෆැසිලිටි එක තියෙන තැනක්. කොර්කේජ් ෆී එකකුත් නැහැ.

කෑම බීම 

අපි ගත්තේ තන්දූරි ග්‍රිල් ප්ලැටර් එක. තන්දූරි මැරිනේෂන් එක දාලා ග්‍රිල් කරපු ෆුල් චිකන් ලෙග්ස් හතරයි, ලෑම්බ් චොප් එකයි, තන්දූරි රොටියි, බූනා ආලෝ, අනියන් රයිතා, සහ ප්‍රෝන් චාට් තමයි මේකට එන්නේ. රු. 3000ක් දීලා ගත්තට කිසිම පාඩුවක් නැහැ, මොකද හතරදෙනෙක්ට වුණත් බෙදාගෙන කන්න ඇහැකි නේ. 

චිකන් එකේ ග්‍රිල් එක නියම ගැන. එළියෙන් ළාවට ක්‍රිස්පි, ඇතුළෙන් හෙන ම ජුයිසි. අනික තන්දූරි මැරිනේෂන් එක මස ඇතුළට ම කාවැදිලා. 

ලෑම්බ් චොප් එකේ පොඩි චුවී ගතියක් තිබුණා, ඒත් ලොකු අවුලක් නැහැ. හැබැයි පොඩ්ඩක් කටු වැඩියි. ඒ නිසා මස කියලා තිබුණේ බොහොම පොඩ්ඩයි. හැබැයි මේකෙත් ග්‍රිල් එක ගානට ම වැදිලා. තන්දූරි රසිනුත් අනූනයි.

ඔය බූනා ආලෝ කියන්නේ ඉන්දියන් ස්ටයිල් එකට හදන අල ස්ටර්ෆ්‍රයි වගේ එකක්නේ. ඒ වුණාට මේ බූනා ආලෝ එක නම් නිකන් ම අල තම්බලා, පොඩ්ඩක් ස්පයිසස් දාලා වගේ ගතියක් තමයි තිබුණේ. ප්‍රෝන් චාට් එකත් මහ අරුමයක් නැහැ. බූනා ආලෝ එකට ම පොත්ත ගලවපු ඉස්සෝ ටිකක් දාලා. අනියන් රයිතා එක නම් ගානට තිබුණා. කිරියි, ලූණුයි හොඳ පදමට මික්ස් වෙලා. මොනවා වුණත් ඉතින් මේ සේරම අර උණුඋණුවේ එන තන්දූරි රොටි මැද්දට දාගත්ත ම පට්ට රසයි.

බීමට අපි ගත්තේ චොකලට් මිල්ක්ෂේක් (රු. 350) එකයි, ඔර්ගැනික් ටර්මරික් ලටේ (රු. 300) එකයි. 

අනේ! චොකලට් කිව්වට මිල්ක්ෂේක් එකේ වැඩිපුර තිබුණේ කිරිනේ. චොකලට් රහ නොදැනෙන තරම්.

ටර්මරික් ලටේ එකෙත් කහ නැහැ. හැබැයි ඉතින් මේ දවස්වල කහ කියන්නේ කළුනිකටත් වඩා හොයන්න අමාරු ජාතියක් නිසාද කියලත් අපි දන්නේ නැහැ. හැබැයි මේකේ කෝපි රස නියමෙට තිබුණා. පොඩි කැරමල් තට්ටුවකුත් උඩින් දාලා නිසා රස නියමෙට බැලන්ස් වෙනවා.

තැන සහ සර්විස් එක

මේක තට්ටු දෙකකින් යුතු රෙස්ටෝරන්ට් එකක්. පහළ තට්ටුවේ කිචන් එකට එහෙම ඉඩ ටිකක් ගිහින් තියෙන නිසා වාඩිවෙන්න ඉඩ හදලා තිබුණත් කලබල ගතිය ටිකක් වැඩියි. ඒ නිසා අපි රෙකමන්ඩ් කරන්නේ උඩ තට්ටුවට යන්න කියල. එතැන හොඳට සින්දුවක් එහෙම අහගෙන කෑම බීම ගන්න පුළුවන්. 

සර්විස් එකත් ගොඩක් හොඳයි. මේක BYOB කියලා අපි මෙතනට ගොඩවෙද්දී දැනගෙන හිටියේ නැහැ. ඉතින් ස්ටාෆ් එකේ කට්ටිය අපට ඒ විස්තරේ කියන ගමන් ළඟම තියෙන සුපර්මාකට් එකට යන්න පාරත් කිව්වා.

අවසාන වශයෙන් 

බජට් ෆ්‍රෙන්ඩ්ලි විදියට, කැමති මසක් මාළුවක් ග්‍රිල් කරලා කන ගමන් ඩ්‍රින්ක් එකක් ගන්න හොඳ තැනක් තමයි මේක. මස් මාළු විතරක් නෙවෙයි, වෙජිටේරියන් BBQ ප්ලැටර් එහෙමත් මේ කට්ටිය ළඟ තියෙනවා. ඒ නිසා මේක හොඳ විවිධත්වයක් තියෙන තැනක් වගත් බයක් නැතුව කියන්න පුළුවන්.



Latest