4/5

Burger King (Mount Lavinia)

212 Galle Road, Mount Lavinia

  • Open until 11:00 PM


To quote the Notorious BIG, it looks like Softlogic is representing BK to the fullest. The Whopper tastes authentic, the service is competent and the location is well equipped and smart. The restaurant doesn't go beyond the usual Burger King flavor, but it's not supposed to. It's very new, but we'd say that this franchise hits the mark.


කෑම කඩවල් නම් කොයි තරම් අළුතෙන් එනවද. ඒත් ඒවගෙන් දිගටම පවතින්නෙ බොහෝම සුළු ප්‍රමාණයයි. ඒ වුනාට 'බර්ගර් කිංග්' කියන්නෙ නම් ලඟකදී විවෘත වෙලා හොඳ ප්‍රසිද්ධියක් ලබපු අවන්හලක්. පාර තොටේ යන එන වෙලාවට දියවන්නාව ඉස්සරහ තියෙන බර්ගර් කිංග් එක දැකල දැකලම මගේ ඇහැට හරිම හුරු පුරුදුයි. අනිවාර්යයෙන්ම දවසක මේකට ගොඩවෙලා බර්ගර් එකක් රස බලන්න ඕන කියන අදහසකුත් මගේ හිතේ තිබුණා.

ඒත් සිද්ධ වුනේ වෙන දෙයක්. පහුගිය දවසක යාළුවෙක්ගෙ වැඩකට ගල්කිස්සට ගියපු මට, දැණුන ලොකු බඩ ගින්න නිසාම යාළුවවත් කතා කර ගත්තු මම ගල්කිස්සෙ බර්ගර් කිංග් එකට ගොඩ වුනා. ඉස්සරහ තියෙන ලොකු වාහන අංගනයෙ කෙලවරට වෙන්න බයිසිකලේ නතර කරපු අපිට අවන්හලට ඇතුල් වෙද්දි දැනුනෙ පුදුම සනීපයක්. මොකද අවන්හල ඇතුලෙ නියම ගාණට වායු සමනය කරල තිබුණ. ඇතුල් වෙන තැනම ඉස්සර තියෙන කැෂියර් එක ලඟට ගියපු අපි දෙන්න, අපි දෙන්නට ආස කෑම ඕඩර් කලේ කැෂියර් එකට පිටිපස්සෙ උඩ බිත්තියෙ ෆොටෝ එකයි ගාණයි දෙකම දාලා තියෙන මෙනුවෙන් බලාගෙන. ඇත්තටම ඒක නම් ගොඩක්ම පහසු ක්‍රමයක්.

Spicy crispy chicken with cheese එකකුයි (රු. 480) Big king chicken එකකුයි (රු. 480) Burger king chicken rice එකකුයි (රු.300) එක්ක Iced coffee එකකුයි (රු. 170) Iced milo එකකුයි (170) ඇණවුම් කරපු අපි දෙන්න භෝජනාගාරෙ ටිකක් ඇතුලට වෙන්න තිබුණ මේසෙකින් තමයි වාඩි වුනේ. බැලූ බැල්මට මැක්ඩොනල්ඩ් එකේ තරම් සැරසිලි නැති වුනාට පොඩි අයටත් විනෝද වෙන්න පුළුවන් විදියට තමයි මේකෙ නිර්මාණකරනය කරල තියෙන්නෙ. කොහොම වුනත් හොඳ සුව පහසුවට වාඩිවෙලා කන්න පුළුවන් විදියට කුෂන් බංකු දාපු හතර දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් මේසයි කුෂන් පුටු දාපු දෙන්නෙක්ට වාඩි වෙන්න පුළුවන් මේසයි හරිම පිළිවෙලට තියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හැම මේසෙකටම වගේ පේන විදියට බිත්තිවල තැනින් තැන හයි කරපු ටි. වී. ටික නිදහසේ කෑම කන්න ගොඩක් උදව් වෙනවා.

සුවපහසු භෝජනාගාරයටම හරියන කාර්යක්ෂම සේවාවකුත් තියෙන එක තමයි බර්ගර් කිංග් එකේ තියෙන විශේෂත්වය. කෑම ඇණවුම් කරල විනාඩි දහයක් යන්නත් කලින් ලොකු තැටියක තියපු අපේ කෑම බීම ටික මේසෙට ගෙනාවෙ හරිම සුහදශීලි සේවක මිත්‍රෙයක්. අපි දෙන්න ඉඳපු බඩ ගින්නෙ තරම කියන්නෙ සේවක මිත්‍රයා කෑම ටික මේසෙ උඩින් තියල අනිත් පැත්ත හැරෙද්දි අපි දෙන්න බර්ගර් දෙක අතට අරගෙනත් ඉවරයි.

මම ඉල්ලපු ස්පයිසි චිකන් බර්ගර් එක යාළුවගෙ බර්ගර් එක තරම් ලොකු වුනේ නැතත් රයිස් එකකුත් තියෙන නිසා මම බය නැතුව වැඩේට බැස්සා. මගේ බර්ගර් එකේ නම් සලාද කොලයකුයි ළූණු පෙත්තකුයි විතරයි තිබුණෙ. තක්කාලි පෙති නෑ. හැබැයි ඒ වෙනුවට මැද්දට දාපු ක්‍රස්පි චිකන් පෙත්තට උඩින් ලොකු චීස් පෙති දෙකක් නම් තියෙනවා. ඇත්තටම ස්පයිසි කිව්වට මට නම් කිසිම ස්පයිසි ගතියක් දැනුනෙ නෑ. ඒ වුනාට මිරිස් කුඩු එක්ක තව මොනවහරි කුළු බඩු වර්ගයක් දවටපු රසක් නම් ලාවට වගේ තිබුණ. කොහොම වුනත් මස් පෙත්තෙ ක්‍රස්පි ගතිය නම් අඩුවක් නෑ. මස් පෙත්තක් කිව්වට ඇත්තටම ඒක මස් කුට්ටියක්. සෙන්ටිමීටරයක් විතර ඝනකමයි. ඇතුලෙ තියෙන මස් ටිකත් හොඳ රස්නෙට තියෙනවා. ඒ රස්නෙට පොඩ්ඩක් විතර මෙලෙක් වුනු චීස් එක්ක බර්ගර් කෑල්ලක් හැපෙද්දි දිවට දැනෙන්නෙ නම් නියම රසක්.

රස ඩබල් කර ගන්න කියල හිතාගෙන ගත්තු අයිස් කෝපි එක නම් ටිකක් සවුත්තුයි. කෝපි රස අඩු වෙලා වතුර ගතිය වැඩි වෙලා. පැණි රස පදමට තිබුණට ඒ අයිස් කෝපි එකට වඩා රස අයිස් කෝපි නම් මම ඕන තරම් බීලා තියෙනවා. යාළුවගෙ මයිලෝ එකෙත් වැඩි වෙනසක් නෑ. මයිලෝ රස අඩු වෙලා කිරි රස මිශ්‍ර වතුර ගතියක් තමයි එන්නෙ. ඒකට බලන්න එපැයි බිග් කිංග් චිකන් බර්ගර් එක. මගේ බර්ගර් එක වගේ දෙගුණයක් විතර ඇති. බිග් කිංග් එකේ නම් බනිස් එක තුනට පලල තමයි මස් පෙති ඇතුලට දාලා තිබුනෙ. වැඩේ කියන්නෙ ඒකට දාපු මස් පෙති ක්‍රස්පි නම් නෙවෙයි. සෙන්ටිමීටරයක් විතර ඝන කම සාමාන්‍ය මස් පෙති. ඒ වුනාට හොඳ පදමට ළූණු පෙතියි සාලාද කොලයි නම් දාලා තියෙනවා. මස් පෙති දෙකට යටින් දාපු චීස් පෙති දෙක භාගෙට මෙලෙක් වෙලා තියෙනව දැක්කාම කටට කෙල උනනවා.

බලන් ඉන්න බැරිම තැන මම යාළුවගෙන් බිග් කිංග් කෑල්ලක් ඉල්ලගෙන රස බැලුවා. ෂහ්, ටොප් නෙ. ක්‍රස්පි ගතිය නැති වුනාට චීස් රස ඉස්මතු වෙලා ඒ අතරට චිකන් රසත් එකතු වුනාම කියල වැඩක් නෑ. බඩ පැලෙන්න කන්න පුළුවන්. යාළුව බිග් කිංග් එකට වග කියද්දි මම ඊලඟට දිග ඇර ගත්තෙ චිකන් රයිස් එක. සුවඳේ බෑ. වැඩි හරියක්ම රයිස් එකට ආපු රසම් එක තමයි සුවඳ. හප්පේ.. මේකෙ තියෙන චිකන් පළුවෙ ලොකු. ක්‍රිස්පි චිකන් ගාතයක්ම තියෙනව. රයිස් එක ඉවර කරන්න නම් යාළුවගෙත් උදව් ඕන වෙයි වගේ. කොහොම වුනත් කහ බත් එකේ පැත්තකට වෙන්න තිබුණ ළූණු සම්බෝලෙ නම් මරු. කොටුවට කපපු ළූණු කෑලියි තක්කාලි කෑලියි එකතු කරල හදපු සම්බෝලෙට රස පදමට ලුණු ඇඹුල් ටික දාලා තියෙනවා. ක්‍රස්පි චිකන් කෑල්ලක් කඩා ගත්තු මම රසම් එකතු කර ගත්තු බත් කටක් රස බලන ගමන්ම චිකන් කෑල්ලත් කටට දාගත්තා.

යම්ම්... පංකාදු පහයි. රසම් එක නම් සුපිරිම සුපිරි. මිරිස්, තුන පහ මදි නොකියන්න දාලා හදපු රසම් එක කහ බත් කටට එකතු වුනු චිකන් කෑල්ලත් එක්ක දිවට ගේන්නෙ අපූරු රසක්. වෙනසකටත් එක්ක මම තව චිකන් කෑල්ලක් කඩාගෙන රසම් වල ගාගෙන බත් නැතුව රස බැලුවා. කියන්න වචන නෑ. කරස් ගාලා හැපෙන චිකන් කෑල්ලට රසම් එකේ මිරිස්, තුන පහ රස එකතු වෙලා, පිස්සු හැදෙන රසක්නෙ තියෙන්නෙ. බඩත් හොඳට පිරිලා තිබුණ නිසා බත් කන එක අඩු කරපු මම මගේ අළුත්ම සොයා ගැනීම හිතේ හැටියට රස බැලුවා. මගේ කෑම වේලට මගදි එකතු වුන යාළුවටත් චිකන්, රසම් පදම හොඳටම අල්ලල ගිහින්.

යාළුව ක්‍රස්පි චිකන් එකේ අන්තිම ටික රස බලන අතරෙ මම ගිහින් අතුරුපසට චොකලට් අයිස් ක්‍රීම් එකක් අරන් ආවා. ඇත්තටම චොකලට් කිව්වට ඒකෙ වටේ විතරයි චොකලට් තිබුනෙ. මැද්ද තනිකරම සුදු පාට ක්‍රීම් විතරයි. අයිස් ක්‍රීම් එකත් මගේ හිතට එච්චර අල්ලපු නැති නිසා ආසාවට කටක් දෙකක් කාලා ඒකත් යාළුවට දුන්නු මම ඉස්මුරුත්තාව බහින කම් දිග කුෂන් බංකුවෙ අත පය දිග ඇරලා හොඳට වාඩි වෙලා හිටියා. කොහොම හරි දෙන්නම ඉස්මුරුත්තාව බස්සගෙන බර්ගර් කිංග් එකෙන් එලියට බැස්සෙ බඩ කට පිරෙන්න කාපු සතුටෙන් වුනාට හිත පිරෙන්න නොදැනුනු රසකුත් ඒ අතරෙ තිබුණ.

ආදරණීයයන් එක්ක, පවුලේ උදවිය එක්ක විතරක් නෙවෙයි තනියෙන් වුනත් ගිහින් හොඳ බර්ගර් එකක් නිදහසේ රස බලන්න බර්ගර් කිංග් එක හොඳ තැනක් වුනාට ඇත්තම කියනවනම් ඩයින්මෝර් එකේ, වී. ඕ. සී. කැෆේ එකේ දෙනව වගේ ලංකාවෙ අපිට නියමෙටම ගැලපෙන රසක් තියෙන බර්ගර් නම් බර්ගර් කිංග් එකේ නෑ. අනිත් කාරණේ තමයි බර්ගර් කිංග් එකේ කෑම වල රස එක්ක වියදමයි බැලුවාම ඩයින්මොර් එක නම් සෑහෙන්න උඩින් තියන්න පුළුවන්.


TIP

Get extra napkins.

Address

212 Galle Road, Mount Lavinia

Directions

Head down the Galle Road towards Mt. Lavinia. It's on the seaside past the Arpico and before Hotel Road.

Contacts

Facebook Website

Open until 11:00 PM

Cuisine

Western American Fast Food

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Burgers Submarines

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3


Latest