4/5

Cafe Beverly

475/C, Sri Jayawardenapura Mawatha, Rajagiriya


Cafe Beverly is a comfortable, affordable dining space in the premises of the Beverly Street shopping complex in Rajagiriya.


ඉරිදා දවසක ඇඳුම් ගන්න හිතාගෙන රාජගිරියේ බෙවර්ලි ස්ට්‍රීට් එකට ගිය අපට, මඟක් හරියකදී දැනුණේ මාර ම බඩගින්නක්. මුලින් අපේ අදහස තිබුණේ අපේ සාරා සෑහෙන්න රෙකමදාරුවක් දුන්නු හන්දිය කිට්ටුව තියෙන කොරියන් බාබෙකියු එකට යන්න. අනේ! ඒ හරියේ පාර ලොකු කරන නිසා ඒක වහලා දාලලු. ඇඳුම් සාප්පුවේ ඉඳපු අක්කා කෙනෙක් ඔය කතාව කිව්ව ම තමයි මටත් අපේ බුද්ධික මහත්තයා ඕක කිව්ව වග මීටර් වුණේ. ඉතින් පැය ගාණක් තිස්සේ හිටන් ඉඳලා, ඇවිදලා කරලා ආව මහන්සිය නිසා, ආයේ තව තැනකට යන්න හිතක් අපට තිබුණේ නැහැ. ඒ නිසාමයි එතැන ම එහාපැත්තෙ තියෙන කැෆේ බෙවර්ලි එකට යන්න අපි කල්පනා කළේ.

තැන

හරියට ම කිව්වොත් මේක රාජගිරියේ බෙවර්ලි ස්ට්‍රීට් සාප්පුවේ කොටසක්. කැෆේ කියලා තිබුණට අපට සාමාන්‍යයෙන් මුණගැහෙන කැෆේවලට වඩා මේක ගොඩක් වෙනස්. කොටින් ම කිව්වොත් ෆයින් ඩයිනින් රෙස්ටෝරන්ට් එකක් වගේ. ඉඩකඩ තියෙනවා සෑහෙන්න. පාරේ අයිනේ ම තිබුණා කියලා නෑ, හරි ම නිස්කලංක වටපිටාවක් තියෙනවා.

කෑම බීම

කැෆේ බෙවර්ලි කියන්නේ ටිපිකල් කැෆේ එකක් නෙවෙයි කියලා අපි කලිනුත් කිව්වනේ. මේකේ මෙනුව දැක්කමත් ඒ බව හොඳින් ම පේනවා. මේක ඉන්දියන්, තායි, වෙස්ටර්න් වගේ කෑම බීම බර තොගේකින් හැදුණු පත සයිස් මෙනුවක්. බීමවලට වෙනම මෙනුවක් තියෙනවා. මොක්ටේල්, කෝපි වගේ බීම ජාති ගොඩකින් තමයි ඒක හැදිලා තියෙන්නේ. හැබැයි ඉස්සරට වඩා කැෆේ බෙවර්ලි එකේ කෑම චුට්ටක් විතර ගණන් ගිහින්. අනික ටැක්ස් සහ සර්විස් චාර්ජ් රහිත මිල තමයි ඒ දක්වලා තියෙන්නේ. ඒ නිසා අපි ශේප් එකේ අපේ බජට් එකට සෙට් වෙන විදියට කෑම බීම ටිකක් ඕඩර් කළා.

අපි කෑම විදියට ඕඩර් කළේ බෙවර්ලි ස්පෙෂල් බීෆ් බර්ගර් (රු.750) එකකුයි, චිකන් බිරියානි (රු.650) එකකුයි. බීම විදියට මෝකා (රු.350) එකකුයි, රාස්ප්බෙරි සන්රයිස් (රු.350) එකකුයි ගත්තා.

මුලින් ම අපේ මේසෙට ආවේ බීම ටික. සාමාන්‍යයෙන් මෝකා එකක් කියන්නේ කැෆේ ලටේ එකට චොකලට් එකතුවෙලා හැදෙන බීමක්නේ. ඒ වුණාට බෙවර්ලි එකේ මෝකා එකෙන් අපට ඒ හැටි චොකලට් රසක් දැනුණේ නැහැ. කෝපි රස තමයි ගොඩක් ම තිබුණේ. ඒකත් අර කොෆී ඇන්ඩ් කම්පැනි එකේ තිබුණා වගේ ස්මූත් ගතියට තියෙන එකක් නෙවෙයි.

හැබැයි ඒකට මොකද, බලන්න එපැයි මේ රාස්ප්බෙරි සන්රයිස් එකේ රස. මේක අඹයි, රාස්ප්බෙරියි දාලා හදන එකක්. හප්පේ! රාස්ප්බෙරි කෙසේ වෙතත් මේකෙන් කර්තකොලොම්බන් රස වෑහෙනවා. මොක්ටේල් එකකටත් වඩා ස්මූති එකක් වගේ. ඒ තරම් උකු ගතියක් තිබුණේ. පට්ට ම රසයි හැබැයි. තිබහට විතරක් නෙවෙයි බඩගින්නටත් මරු.

අපේ කලින් රිවීව් එක කරලා අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ලත් තවම කැෆේ බෙවර්ලි එකේ බර්ගර්වල ඩ්‍රයි ගතිය මඟ ඇරිලා නැහැ කියන්නකෝ. බර්ගර් එක නම් හොඳ පෙනුමට තිබුණා. ප්‍රසන්ටේෂන් එක නියමයි. අනික පැටී එකත් හුඟක් රසයි. ඒ වුණාට කිසිම juicy ගතියක් නැහැනේ. බන් එකත් වේලිලා වගේ. මේකත් එක්ක ආව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික මරු. හෙන ම ක්‍රිස්පි.

ෂහ්! අපේ චිකන් බිරියානි එක පංකාදු පහයි ඈ! ඕනේ කරන අඩුම කුඩුම සේරම එක්කාසු දාලා බත් එක නියමෙට සීසනින් කරලා. අපට සාමාන්‍යයෙන් කන්න ලැබෙන හයිද්‍රාබාදි බිරියානිවලට වඩා පොඩ්ඩක් විතර ස්පයිසි ගතිය වැඩියි. ඒ වුණාට රසට ඒකෙන් බාධාවක් නැහැ. මොකද බැදපු කජු, රටකජු, ලූණු ටිකකුත් එක්කාසු කරලා තිබුණනේ. බත් එක ඇතුළේ ගිලුණු තඩි චිකන් කෑලි හතර පහකුත් අපට හම්බවුණා.

මේකත් එක්ක රයිතා ටිකකුයි, පොඩි හොද්දකුයි ලැබුණා. ඒ දෙකත් ෂේප්. ඇත්ත ම කිව්වොත් මේක දෙන්නෙක්ට හොඳට කන්න පුළුවන් සයිස් එකේ තඩි පෝෂන් එකක් තියෙන බිරියානි එකක්. ඒ නිසා ගෙවපු ගාණට කිසිම පාඩුවක් නැහැ.

සර්විස් එක

කැෆේ බෙවර්ලි එකේ සර්විස් එකත් ගොඩක් හොඳයි. කෑම බීම ටික පටපට ගාලා මේසෙට එනවා. ස්ටාෆ් එකේ අයගේ තිබුණෙත් හරි ම මිත්‍රශීලී ගතියක්.

අවසාන වශයෙන්

ටැක්ස් අනං මනං ටික එකතු වෙලා එද්දී නම් රු.2700ක බිලක් අපට ආවා. ටැක්ස්වලට ම රු.400යි ගාණක් වෙනමම එකතු වෙලා. අපි ඔය ගත්තේ ලිමිටඩ් බජට් එකක ඉන්න කෙනෙක්ට ගන්න පුළුවන් විදියේ කෑමනේ. හැබැයි රු.1000ට වැඩි මුදලකට අලෙවි වෙන කෑම ගොඩක් කැෆේ බෙවර්ලි මෙනුවේ තියෙනවා. ඒ නිසා හැමදාම මේකෙන් කන්න යනවා කියන්නේ ටිකක් අමාරු කාරියක්. ඒත් ඉතින් ඉඳලා හිටලා හරි මේ පැත්තෙන් ගියොත් ගොඩ වෙලා බලන්නකෝ. ගණන් පොඩ්ඩක් වැඩි වුණත්, මේවයේ රස හොඳයිනේ.

Address

475/C, Sri Jayawardenapura Mawatha, Rajagiriya

Directions

If you're heading towards Rajagiriya from Battaramulla, it's just past KFC and before Keells Super.

Contacts

Facebook Instagram



Latest