4/5

Cafe Thuna Paha

244, Hospital Road, Kalubowila


A rice & curry spot down Hospital Road, Kalubowila.


රයිස් ඇන්ඩ් කරි කියන්නෙ ලංකාවෙ අපේ දිව්‍යභෝජනේ. ඒ හින්ද රයිස් ඇන්ඩ් කරි කඩ කොච්චර දැනගෙන හිටියත් පාඩුවක් නෑ. ඔන්න අදත් විස්තරේ ඒ වගේ රයිස් ඇන්ඩ් කරි ප්ලේස් එකක් ගැන..

තැන

මේකෙ නම කැෆේ තුන පහ. තියෙන්නේ කළුබෝවිල. එළිය ලස්සන වෝල් ආට් එකකින් අලංකාර කරල තියන හින්ද ඈතදිම අපි තැන හොයාගත්තා. දහයකට විතර වාඩි වෙලා කන්න පුළුවන් තරමට ඉඩකඩත් එක්ක මැටි හට්ටිවල දාපු රස පාට රයිස් ඇන්ඩ් කරි.

කෑම

අපි ලන්ච් එකට ගියේ ලන්ච් වෙලාව ටිකක් පැනල. ඉතින් අපි යද්දි රතු බත් ඉවරයි. ඒ හින්ද සුදු බත් එක්ක අපි ෆිෂ් කෑම එකයි (රු. 280) කරවල කෑම එකයි (රු. 260) ගත්තා. තියන කරීස් වලින් ඕනෑම හතරක් ගැනීමේ හැකියාව මේගොල්ලො අපිට දීල තියනවා.

ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකට අපි දාගත්තෙ පොල් සම්බෝල, පරිප්පු, ගෝවා එක්ක බණ්ඩක්කා. ගෝවා, බණ්ඩක්කා දෙකම හොඳ ෆ්‍රෙෂ් ඒවා. මාළු කෑල්ලත් නරක නෑ. පොල් සම්බෝලෙ ගැන විශේෂයෙන් කියන්න ඕන. මොකද අපි කඩෙන් ගන්න ගොඩක් කෑමවල පොල් සම්බෝලෙට එක්කො ලුණු නෑ, එක්කො සැර නෑ. එක්කො පොල් වේලිලා. හැබැයි මේ පොල් සම්බෝලේ ඇති පදමට ලුණු ඇඹුල් වගේම සැරත් තිබුණා. ඒ නිසා ගෙදර හදපු සම්බෝලෙක ගතියක් තමයි දැනුණේ.

කරවල රයිස් ඇන්ඩ් කරි එකේ තිබුණේ කොස් මැල්ලුම්, රාබු, කොහිල එක්ක කොළ මැල්ලුමක්. කරවල ටික යහමින් අමුමිරිස්, ලූණු එක්ක තෙල් දාලා තිබුණා. මේකේ විශේෂයෙන් රහට තිබුණේ කොස් මැල්ලුම. බත් ටිකත් කන්න ආස හිතෙන ගාණට ඉදිලා නිසා කෑම එකේ අවුලක් කියල කියන්න දෙයක් නෑ.

සර්විස් එක

කඩිසරව වැඩ කරන, එන අයත් එක්ක සුහද කෙනෙක් තමයි කැෆේ තුන පහ එකේ වැඩ කළේ. ඉතිං සර්විස් එකේ වරදක් නෑ.

අවසාන වශයෙන්

කැෆේ තුන පහ කියන්නේ කළුබෝවිල පැත්තේ ඉන්නව නං පිරිසිදු රයිස් ඇන්ඩ් කරි වේලක් කන්න හොඳ තැනක්.



Latest