4/5

Chana's

50, W.A. Silva Mawatha, Colombo 06


Chana's has been gaining popularity for sometime now and it's easy to see why. They do a pretty good take on North Indian cuisine and their biriyani is one of the best in town.


පහුගිය සුමානේ දවසක වැල්ලවත්තේ සැවෝයි 3D එකේ ෆිල්ම් එකක් බලන්න ගිය අපි කට්ටියකට දවල් කෑමට තැනක් හොයාගැනීමේ ගැටලුවක් මතු වුණා. කට්ටියගේ ම ඡන්දය ලැබුණේ බිරියානිවලට. ඉරිදා දවසේ නිසා කඩවලුත් ගොඩක් ඒවා වහලනේ. ඉතින් යමු ඇප් එකත් දිග ඇරලා විස්තර හොයනකොට තමයි අපට චානා’ස් එක ගැන මතක් වුණේ. කොළඹ හරියේ හොඳ ම බිරියානි දෙන්නේ කවුද කියලා ඇහුවොත් අනිවාර්යෙන් ම මෙන්ෂන් කරන්න ඕනේ තැනක් තමයි මේ චානා’ස්.

තැන

චානා’ස් එක තියෙන්නේ වැල්ලවත්තේ හන්දියෙන්  හැරිලා යන්න තියෙන ඩබ්ලිව්.ඒ සිල්වා මාවතේ. ඔය චාට් කඩේ, ඩයින් ඉන් එහෙමත් තියෙන්නේ ඔය පාරේමනේ. ඔන්න ඔය පාර දිගේ එනකොට පාරේ දකුණු අත පැත්තේ මුණගැහෙන ග්‍රෙගරි ප්ලේස් එකට පොඩ්ඩක් එහා පැත්තේ තමයි චානා’ස් එක තියෙන්නේ. පාර අයිනේ ම නිසා ලේසියකට මේක මඟ හැරෙනවා බොරු.

චානා’ස් එකේ දොරෙන් ඇතුළට යද්දී ම දැනෙන කෑම සුවඳට ඇත්තමයි නිකන් ම බඩගිනි වෙනවා. දහ පහළොස් දෙනෙක්ට එක සැරේ වාඩි වෙලා කෑම ගන්න පුළුවන් විදියට ඉඩ හදලා තියෙන නිසා පවුල පිටින් ගියත් අවුලක් නැහැ. ඒ නැතත් ටේක් අවේ දාලා අරගෙන යන්නත් පුළුවන් නේ.

කෑම බීම

කන්ඩූරි, ඇග්‍රා, ආසිෆ් බිරියානි, හවුස් ඔෆ් බිරියානි වගේ සාමාන්‍ය නෝර්ත් ඉන්ඩියන් රෙස්ටෝරන්ට් එකක තියෙන කෑම බීම තමයි මෙතැන තියෙන්නෙත්. හයිඩ්‍රාබාදී දම් බිරියානි, චිකන්, බීෆ්, සීෆුඩ්, මට්න් කරි, රොටී වර්ග ඒ අතරින් කීපයක්. බීම විදියට ජූස්, මිල්ක්ෂේක්, ලැසී වර්ග තියෙනවා.

කෑමට තන්දූරි චිකන් දම් බිරියානි (රු.600) එකකුයි, චපාති රොටියකුයි (රු.50) ගත්ත අපි, බීමට ඕඩර් කළේ ස්වීට් ලැසී (රු.280) එකක්. අහ්! අර ගත්ත රොටී කන්න බීෆ් කුරුමා (රු.500) එකකුත් ගත්තා.

“රොටී ටික නිවෙන්න කලින් කන්න මිස්. එතකොට තමයි රස වැඩි”

කඩේ අංකල් එහෙම කිව්වේ රොටියි, බීෆ් කරියයි මේසේ උඩින් තියන ගමන්. ඒ හැරෙන තැපෑලට ම බිරියානි එකත් මේසෙට ආවට පස්සේ තමයි අපි කන්න පටන්ගත්තේ.

ආයේ කතා දෙකක් නෑ ඉතින්, මෙතුවක් කාලෙකට කඩේකින් කාලා තියෙන හොඳ ම බිරියානි එක තමයි මේ! ඕනේ කරන අඩුම කුඩුම සේරම දාලා, අර ඔරිජිනල් බිරියානි එකක තියෙන්න ඕනේ රස ඒ විදියට ම තියෙනවා. බත් එකෙත් තෙල් නියම ගානට. අර ඇලෙන ගතිය මුකුත් නැහැ. මේකට දාලා තිබුණු මසාලා කරියත් මික්ස් වෙලා එද්දී තවත් මරු. ඒ විතරක්ද, රතට රතේ දිලිසි දිලිසි ආව මේ තන්දූරි චිකන් කෑල්ලේ රස! දැනටත් මතක් වෙද්දී කටට කෙළ උනන ගානයි. සේරම කුළුබඩු එකතු කරලා, යෝගට් එහෙම දාලා මැරිනෙට් කළා ම එන රස මේ තන්දූරි චිකන් කෑල්ලේ අඩුවක් නැතුව තිබුණා.

චපාති රොටී එකත් රසට තිබුණා. ගොඩක් ෆ්‍රෙෂ්. උණුඋණුවේම නේ මේසෙට ආවෙත්. හැබැයි බඩ පිරෙන්න කනවනම් මේකෙන් රොටි දෙකක්වත් කන්න වෙයි.

ෂහ්! බීෆ් කුරුමා එක චපාති රොටියට තකටතක. හරි ම උකු හොද්දක ගිලුණු බීෆ් කෑලි හය හතක් ම මේ හොද්ද ඇතුළේ තිබුණා. ටිපිකල් බීෆ් කුරුමා එකකින් එන්න ඕනේ මසාලා ස්පයිසි රස තමයි මේකේ තිබුණේ. හොද්ද කොච්චර රසයිද කිව්වොත් අපි බිරියානි එකේ ඉතුරු ටිකට වග කිව්වේ මේ හොද්දත් එක්ක.

ස්වීට් ලැසී එකත් පට්ට! මුදවපු කිරි නියමෙට දාලා හදපු ලැසී එකක්. සෑහෙන්න උකුයි. මුලදී සීනි ඇට හැපෙන ගතියක් තිබුණට, පොඩ්ඩක් මික්ස් කරගත්ත ම ඒක හරි ගියා.

මෙහෙව් සුපිරි කෑම වේලක් කාලා, ඩෙසර්ට් එකක් නොගත්තොත් ඒකත් අඩුවක්නේ. ඒ නිසා තමයි අපි වටලප්පන් (රු.290) එකක් ඕඩර් කළේ. රු.290ක් වටලප්පමකට වැඩියි නේද කියලා හිතුණත්, වටලප්පන් එක මේසෙට ආවමනේ අපට වැඩේ තේරුණේ. මේක මේ හතර දෙනෙක්ට වගේ බෙදාගෙන කන්න පුළුවන් සයිස් වටලප්පමක්නේ. රස පැත්තෙන් ගත්තොත් නම් අමුත්තක් නැහැ. පැණි රස ගානට තියෙන නෝමල් වටලප්පන් එකක්.

සර්විස් එක

තමන්ගේ තැනකට ගියා වගේ සර්විස් එකක් චානා’ස් එකෙන් ලැබෙනවා. අපට සපෝට් එකට ඉඳපු ස්ටාෆ් එකේ අංකල් මෙනුවේ අග ඉඳන් මුලට ඇහුවත් ඕනේ ම දෙයක් කියන්න දන්නවා. අනික මේ මහ දවාලේ සෙනඟ පිරුණු වෙලාවක වෙලත්, කෑම බීම ටික මේසෙට ආවේ විනාඩි 10කින් වගේ.

අවසාන වශයෙන්

චානා’ස් එකේ කෑම ටිකට අපට කොච්චර ආස හිතුණද කිව්වොත්, පහුවෙනිදා ම චිකන් බිරියානි සවානක් ඕඩර් කරලයි අපි නැවතුණේ. රු.2800ට ගන්න පුළුවන් මේ සවාන ඇත්තට ම එන්නේ තඩි මැටි මුට්ටියක. හතර දෙනෙක්ට සෑහෙනවා කිව්වත්, ඇත්තට ම පස් දෙනෙක්ට වුණත් හිතේ හැටියට බඩ පුරවගන්න පුළුවන් තරමට මේක ඇති. මෙයාලගේ ඕනේ ම කෑමක් ගෙදරට ඩිලිවර් කරගන්නත් ඇහැකි. පොඩ්ඩක් අපේ යමු සයිට් එකට මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ.    


TIP

Their Puris and Tandoori dishes are available after 5pm. They've got prawn and fish biriyani are not on the menu so you'll hav.e to ask the cashier about it

Address

50, W.A. Silva Mawatha, Colombo 06

Directions

Coming down Galle Rd, turn to W.A .Silva Mw. Chana's is about 200m down the road (Before Royal Hospital and Al-Maas).

Contacts

Open 11.00 am - 11.00 pm

Cuisine

Indian North Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Biriyani Naan

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3


Latest