4/5

Chola Authentic Indian Restaurant

37, Lily Avenue, Colombo 6.

Get it delivered on Pickme Food

Chola is a new Indian Restaurant serving some of the best Indian we have tried.


කඩයක්.. අරිද්දිම ඇතුලට යනව කියන්නෙ!

ඒකෙත් මාරම පිළිගැනීමක් තියෙනව ඈ.

බොරුනම් අහන්නකො. ඔන්න පහුගිය සතියෙ මායි යාළුවෙකුයි ගියා දවල් කෑමට, වැල්වත්ත මරීන් ඩ්‍රයිව් එකේ චෝලා කියල ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකකට. කොහොමහරි ඒ යද්දිම තමයි ෂොප් එක ඇරියෙත්. හප්පේ.. ඉතින් ෆුල් වෙල්කම් එක හොඳේ.

“ගුඩ් මෝනින් සර්. එළියෙ ලෑස්ති කරන්නද.. ඇතුලට යමුද?”

“ම්.. ඇතුළට යමු නේ”

එහෙම කියල ගියා ඇතුලට. බොලේ ඊට පස්සෙනෙ!

මුලින්ම මෙනියු එක මේසෙට. ඒ විතරක් නෙවෙයි ඒකෙ තියෙන අළුත්ම ඒවා, ඒවා හැදෙන විදි, හොඳම චොයිසස්.. හැම එකක්ම සේවක මල්ලි විස්තර කරලත් දෙනව. ඒ වෙලාවෙ නම් මම බැලුවෙ ඇත්තටම එයා වේටර්ද කුක්ද කියල. ඇයි අප්පේ, කෑම එකේ රසේ ඉඳන්ම කියනවනෙ. ආයෙ ඉතින් ඒ ටික අහගෙන හිටිය කියන්නෙ අපිට අමුතුවෙන් මෙනුව බලන්න ඕන වුනේ නෑ. කෙලින්ම් ඕඩර් කලා දින්දුගල් චිකන් ටික්කා බිරියානි (රු. 850) එකකුයි, චපාති සෙට් එකකුයි (රු. 380), මට්න් චෙට්ටිනාද් (රු. 975) එකකුයි. පස්සෙ ඩෙසට් එකට පප්ඩි චාට් (රු. 350) ගේන්න කියල බොන්න ගත්ත බාදම් මිල්ක් ෂේක් (රු. 500) එකක්.

මම හිතුවෙම ඊට පස්සෙත් නිදහසක් නැතිවෙයි කියල. ඒත් ඇත්තටම එහෙම වුණේ නෑ. කෑම ටික එනකම් කියල දෙන්නට පුංචි කතාවක් දාන්න චාන්ස් එකක් ආවා. හැබැයි ඉතින් පිවිසීමෙදිම අමන්දානන්දයට පත්වෙලා ඉඳපු අපි දෙන්නගෙ ඒ කතාවෙත් ගැබ් වුණේ කඩේ ගැනයි, සර්විස් එක ගැනයි. නෑ නිකමට හිතන්නකො යාළු, හරියට ගෙදරට ගොඩ වුණා  වගේනෙ!

උපරිම විනාඩි 15ක් යන්න ඇති, සුබ නැකතින් ඔන්න කෑම සියල්ලම මේසෙට. කොටින්ම කියතොත් මේසෙ ඉඩත් නැති ගානයි. කොහොම කොහොමහරි අපි ඒකත් ඇරේන්ජ් කරගෙන බැස්ස වැඩේට, උණුඋණු සියල්ල හොඳ හැටි පිඟානට බෙදාගෙන. හප්පේ.. ඉන්න බෑ හොඳේ බෙදන කොටත්, සුවඳට නිකම් තොලකට ලෙවකැවිල කෙල ගිලිල යන්නෙ.

මම මුලින්ම අතගැහුවෙ චපාති වලට. ඒකට ආපු පනීර් හොද්දයි, මීකිරි සලාදයයි කලවම් වුනාම.. හප්පේ, පංකාදු පහයි! අනික ඒ රස, රියල්ම ඉන්ඩියන් ඈ. කොටින්ම කියතොත් ජැෆ්නවත් නෙවෙයි. මගෙ හිතේ මෙයාලා පාවිච්චි කරන්නෙ කෙලින්ම ඉන්දියාවෙන් ගෙන්නපු කුළුබඩු වෙන්න ඕන. නැත්නම් මෙච්චර ගැම්මක් එන්න බෑ. අනික ඒ පනීරුත් නිකම් පෑන් ෆ්‍රයි කරල වගේ දාලා තිබුණේ. ඉතින් රස ඩබල්. මසාලා, සූදුරු මහදුරු, කරාබු, කුරුඳු, එනසාල්, මිරිස් ගම්මිරිස්, රම්පෙ කරපිංච.. තව මොනවද ඈ..

අනික චපාති එකත් තිබ්බනෙ නිකම් ගින්දර වගේ. හොඳ පිටි එකකින් තුනීයට හදල, පදමට පුච්චල. වැඩිය ඕන නෑ, ඒ රස නිසාම මම චපාති එක කාලා බැලුව මට්න් චෙට්ටි එක්කත්.

අන්න ඒ පාරනම් ඇස් දෙකෙන් කඳුලු පැන්නෙ නැති එක විතරයි. පුදුම රසක් යාලු! හැරත් හිතන්නකො, ඉන්ඩියන් කෑමවල මස් කරියක් ගත්තාම ගොඩක්ම එන්නෙ මසේ රස නෙවෙයි, කුළු බඩු රසනෙ. හැබැයි මේකෙ එහෙම නෑ. හොඳ මට්න් රසකුත් තියෙනව. අනික තඩි කෑලිත් 5, 6ක්ම වගේ තිබ්බ නිසා දෙන්නෙක්ට හොඳටම ඇති. අර වැඩේ වුණේ මට්න් හොද්දෙ, මට්න් රස නැති එක තමයි. ඒකෙ තියෙන්නෙ නිකම් අර කුරුමා වගේ වෙනස්ම, හැබැයි ඉන්ඩියන් රසක්.

ඔය විදියට චපාති එක හමාරකට විතර වගකියපු මම යාළුවට ඉතුරු කෑල්ල තියල බැස්ස බිරියානි එකේ තත්වෙ කොහොමද බලන්න. ඒ වෙද්දි ටිකක් ඒක නිවිල තිබුණට සුවඳින් නම් අඩුවක් තිබ්බෙ නෑ. අනික එක හැන්දක් බෙදාගනිද්දි එන චිකන් තොගේ..

හප්පේ, වෙලාවට යාළුව කාලා ඉවර වුණේ. නැත්නම් බැනුම්. ඇයි ඉතින් මම හැඳි 3යි, චිකන් කෑලි 3යි. ඒ නිසාම මම මුලින්ම කෑවෙත් චිකන් කෑල්ලක්. ආයෙ ඉතින් කියන්න ඕන නෑනෙ? ටික්කා රස ලාවට, කරි රසට යටවුණාට සුපිරිම චිකන් කෑල්ල හොඳේ. තුනපහත් අල්ලල තියෙනව ලෙසටම. අනික බතේ බිරියානි රසයි, බාස්මතී හාලෙන් එන සුවඳයි එක්ක ගිලින්න පුළුවන් බඩකට පිරෙන්න. මුද්දරස්පලම්, කජු, ලූණු බැදුම් එහෙමත් ලෝබ නැතුව මික්ස් කරලනෙ.

තලු මර මර බිරියානියි, චපාතියි කෑවට මොකද මම සිහියෙන් හිටියෙ චාට් එක ගැනත්. මොකද මම ආස කෑමක්නෙ ඒක. අනික, නිතර හම්බුවෙන්නෙත් නෑනෙ. ඉතින්.. යාළුවට කන තරමක් කාගන්න කියල මම ගිහින් අත හෝදගෙන ඇවිල්ල බැස්ස චාට් රස බලන්න.

ෂැහ්! පළවෙනි එකෙන්ම.. හොඳටම හොඳයි ඈ.. හැබැයි රසේ පොඩි මදිකමක් තියෙනවත් වගේ. ඇත්තටම ඉතින් මට නම් තේරෙන්නෙ නෑ ඒකෙ මොනවද අඩු කියන්න. කොහොමහරි තව චූට්ටක් රස වැඩි වුණා නම්..

යාළුව බීපු ආමන්ඩ් මිල්ක්ෂේක් එකත් සුපිරියටම තිබ්බ කිව්ව. විශේෂයෙන්ම කිරි රසයි.. ආමන්ඩ් රසයි එහෙම. හැබැයි සීනි පොඩ්ඩක් වැඩි කතාවකුත් කිව්ව. ඒක ඉතින් අපිට කියන්න බෑනෙ. මොකද සීනි කියන එක, එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවනෙ.

කොහොම වුණත් කාලෙකට පස්සෙ හිතයි බඩයි දෙකම පිරෙන්න, ඔරිජිනල් ඉන්ඩියන් කෑම නම් කෑවා. ඒ අතරට විශේෂ ස්තූතියක් තියෙනව සේවක මල්ලිටත්.

ඇත්තටම! සුපිරි මචං ඒ සර්විස් එක නම්...


TIP

Best combo; Paneer Butter Masala and Butter Kulcha!

Address

37, Lily Avenue, Colombo 6.

Directions

It's on Lily Avenue, the byroad right after Rio Ice Cream on Marine Drive.

Contacts

Facebook Instagram



Latest