4/5

Chola Authentic Indian Restaurant

37, Lily Avenue, Colombo 6.

Get it delivered on Pickme Food

Chola is a new Indian Restaurant serving some of the best Indian we have tried.


අපේ මේ දිනිති ඉන්නවා නේද; ඉන්දියන් කෑමවලට කිසිම මනාපයක් නැහැ. මොකද ලංකාවේ ගොඩක් ඉන්දියන් රෙස්ටෝරන්ට්වලින් කෑමත් එක්ක ලැබෙන තෙල් ප්‍රතිශතය සෑහෙන්න ඉහළයිනේ. හැබැයි ඔන්න මේ ළඟක දි අපට යන්න වුණා තරමක් මෑතක දි පටන්ගත්ත ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකට. ඒකට ගියත් හරි, දිනිතිට ඉන්දියන් කෑම ගැන පුදුම ආදරයක් ඇති වෙලානේ. අන්න ආයේ යන්න ඕනේ ගගා ඉස්පාසුවක් නැතිව ඉන්නවා. 

ඉතින් අපේ දිනිතිගේත් හිත වෙනස් කරපු මේ රෙස්ටෝරන්ට් එකේ නම "චෝල ඔතෙන්ටික් ඉන්දියන් රෙස්ටෝරන්ට්". එහෙනම් අහගන්නකෝ විස්තරේ.

තැන

චෝල එක තියෙන්නේ වැල්ලවත්තේ ලිලී ඇවෙනියු එකේ. කොළඹ පැත්තේ ඉඳලා එනවනම්, මැරීන් ඩ්‍රයිව් එක දිගේ එනකොට වැල්ලවත්තේ රියෝ එක පහු වෙච්ච ගමන් තියෙන පාර තමයි මේ ලිලී ඇවෙනියු කියන්නේ. පාරෙන් හැරිච්ච ගමන් වුණත් චෝල එකේ බෝඩ් ලෑල්ල දිස් වෙන නිසා, ලේසියකට මිස් වෙන්නේ නැහැ.

මේක ඇත්තට ම පරණ ගෙයක්, රෙස්ටෝරන්ට් එකකට හරවපු තැනක්. හරියට අසූ, අනූ ගණන්වල අපි දැකපු ටෙලිනාට්‍යවල තියෙන ගෙවල් වගේ. වියපු දැල්වලින් වට වුණු ඉස්තෝප්පුවක්, ලොකු සාලයක් සහ කාමර කීපයකින් සමන්විත මේ රෙස්ටෝරන්ට් එකේ හරි ම homey ෆීලින් එකක් තියෙනවා.

කෑම බීම

හප්පච්චියේ! මෙතැන නැති දෙයක් නැහැනේ. එක කෙළවරකින් පටන්ගත්ත ම බිරියානි, කුල්චා, නාන්, ඊළඟට චිකන්, මට්න්, පනීර් ආදී නා නා ප්‍රකාර කරි වර්ග. ඒ විතරක්යැ වෙජිටේරියන් අයට තොරගන්නත් කෑම වර්ග මේ මෙනුවේ තියෙනවා ඇති තරමට. බීමට තියෙන්නේ ජූස් සහ මිල්ක්ෂේක් ජාති.

අපි කෑමට ගත්තේ චිකන් "ටික්කා බිරියානි" (රු.850) එකකුයි, "පනීර් බටර් මසාලා" (රු.800) එකකුයි. තව "චීස් චිලි නාන්" (රු.325) එකකුයි, "බටර් කුල්චා" (රු.250) එකකුයි ඕඩර් කළා. කෑමවල ගණන් දැක්ක ම නම් අපිත් උඩ ගියා. මොකද මේ වගේ ලොකු ගණන්වලට අපි මීට කලින් ඉන්දියන් කෑම කාලා තියෙන්නේ කොළඹ 7 පැත්තේ තියෙන ඉන්දියන් රෙස්ටෝරන්ට්වලින්නේ. හැබැයි කෑම ටික මේසෙට ආවම තමයි වැඩේ තේරුණේ. මේ කට්ටියගේ කෑම හැම පෝෂන් එකක් ම දෙන්නෙක්ට කිසිම අඩුවක් පාඩුවක් නැතුව බෙදාගෙන කන්න පුළුවන් තරමට සයිස්.

හප්පටසිරි! මේ බිරියානි එකේ රස! මං හිතන්නේ අපි Chana's එකට පස්සේ අපි කෑව හොඳ ම බිරියානි එක තමයි මේ. පුදුම ඔතෙන්ටික් රසක්නේ තිබුණේ. වෙන කොහෙන්වත් මේ වගේ සුපිරි මසාලා රසක් අපට දැනිලා තිබුණේ නැහැ. ඒ විතරක්යැ, මාර ම ස්පයිසි. ඒකත් මේ තෙල්, මිරිස්වලින් විතරක් එන එකක් නෙවෙයි. තව කුළුබඩු ගාණකින් එන රසක්. අනික බලන්න එපායැ මේකෙන් එන සුවඳ! කෑවේ නැතත් ඒ සුවඳට බඩ පිරෙනවා. පොඩි පොඩි චිකන් ටික්කා කෑලි හත අටක් ම මේ බත ඇතුළේ ගිල්වලා තිබුණා. බතේ ඒ හැටි තෙල් ගතියකුත් නැති නිසා තවත් හොඳයි.

මේ කට්ටියගේ නාන් එකත් ලොවෙත් නෑ! චීස් ඔබ්බවපු මේ නාන් එකේ සයිස් එකත් ලොකුයි. අමු මිරිස් කෑලි තොගයක් එක්කාසු කරලා නිසා ස්පයිසි ගතියත් හොඳට ම තිබුණා. ඒ වගේ ම මේ රොටිය මාර ම ෆ්‍රෙෂ්. මොකද එවෙලේ ම හදලා දුන්න ඒවනේ. අනික තෙල් ගතියත් මහ ලොකුවට නැහැ.

නාන් එකටත් වඩා අපට අල්ලලා ගියේ බටර් කුල්චා එක. මේකේ බටර් රස හොඳට ම අපට දැනුණා. ටෙක්ශ්චර් එකෙනුත් ඒ බව හොඳට පේන්න තිබුණා. මේකේ රස තවත් වැඩි වුණේ රොටිය පුරාම දාලා තිබුණු තල ඇටවලින්.

ඔය රොටි සේරම අපි කෑවේ පනීර් බටර් මසාලා එකත් එක්ක. මේකත් පංකාදු පහයි! බටරි ගතිය නියමෙට තියෙන මේ උකු හොද්දේ කටට රහට හදපු පනීර් කෑලි තොගයක් ම තිබුණා. ලාවට වගේ එන පැණි රසක් මේ හොද්දෙන් ආවේ මේකට එක්කාසු කරලා තියෙන යෝගට් වගේ ජාති නිසා වෙන්න ඕනේ. ඇත්තමයි රොටි කන්න නියම කරිය ඈ! අපි බිරියානි එකේ අන්තිමට ටිකට වග කිව්වෙත් මේ හොද්දත් එක්ක. මොකද මේ පෝෂන් එක තුන්දෙනෙක් ට වුණත් බෙදාගෙන කන්න පුළුවන් තරමට ඇති.

බීම විදියට අපි ගත්තේ පැණි කොමඩු ජූස් (250) එකක්. නියම රිෆ්‍රෙෂින් ගතියක් මේ ජූස් එකේ තිබුණා. සීනි නොදා හදපු නිසා, පැණි කොමඩුවල ස්වාභාවික රස අඩුවක් නැතුව මේකෙන් එනවා. හැබැයි රු.250කුත් ගෙවන එකේ මීට වඩා ලොකු වීදුරුවක මේ ජූස් එක දෙන්න පුළුවන් නම් තමයි ගොඩක් වටින්නේ.

සර්විස් එක

අපට තේරුණු විදියට මෙතැනට ගොඩක් සෙනඟ එන්නේ රෑ කෑමට. ඒ නිසාමදෝ කොහේදෝ සතියේ දවසක දවල් වරුවේ මේකට අපි ගොඩ වෙද්දී, මුළු රෙස්ටෝරන්ට් එකට ම හිටියේ අපි විතරයි. කොහොම වුණත් කෑම බීම ටික සේරම මේසෙට එන්න විනාඩි 20ක් වගේ ගියා. හැබැයි එවෙලේ ම අලුත් පිට හදපු උණුඋණු කෑමයි, ඒවායේ තියෙන රසයි සලකලා බැලුව ම නම්, මේ ටික කන්න පැයක් බලාගෙන හිටියත් කමක් නැහැ කියලයි අපට හිතුණේ. අනිත් කාරණේ තමයි චෝල එකේ ස්ටාෆ් එකේ අයගේ තිබුණු සුහදශීලී බව. කෑම අතරමග දි දෙතුන් වතාවක් ඇවිදින් කෑම බීම අඩුපාඩුකම් ගැන හොයලා බලන්නත් ඒ කට්ටිය අමතක කළේ නැහැ. ඒ වගේ ම මේ කෑම බීම ගැන හොඳ අවබෝධයක් මේ අයට තියෙන වග පේන්න තිබුණා.

අවසාන වශයෙන්

චෝල එකේ කෑම හැදෙන්නේ ඉන්දියානු ජාතික චෙෆ්ලා අතින්. ඒ නිසා මේවයේ ඔතෙන්ටික් ගතිය ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ වෙන්නේ නැහැ. සවුත් ඉන්දියන්, නෝර්ත් ඉන්දියන් කෑම වර්ග තොගයක් ම තියෙන නිසා, ලොකු තේරීමක් ඇතිව කෑම ගන්නත් ඔයාලට පුළුවන්.


TIP

Best combo; Paneer Butter Masala and Butter Kulcha!

Address

37, Lily Avenue, Colombo 6.

Directions

It's on Lily Avenue, the byroad right after Rio Ice Cream on Marine Drive.

Contacts

Facebook Instagram



Latest