3/5

Coco Veranda (Nawala)

No. 441, Nawala Road, Sri Jayewardenepura Kotte.


One of Colombo's most popular coffee shops has opened up in Nawala.


කොකෝ වැරැන්ඩා කියන්නේ කොළඹ පැත්තේ අය හොඳින් ම දන්නා කැෆේ අතරින් එකක්. කියන්න තරම් ලොකු හොඳක් හෝ වරදක් නැතත්, යන එන ගමන් කෝපි කෝප්පයක් බොන්න මෙතැන හොඳයි. මේ ජනප්‍රියත්වය නිසා ම දෝ කොහේදෝ දැන් ඔන්න ඒ කට්ටිය නාවලටත් බ්‍රාන්ච් එකක් දාලා. ඕක දැනගත්ත වෙලේ ඉඳන් අපේ දිනිතිට ඉස්පාසුවක් නෑ. ඒ නිසා ගිය සඳුදා හවස් වරුවේ අපි ගොඩවුණා නාවල කොකෝ වැරැන්ඩා එකට.

තැන

කිව්වත් වගේ මේ කොකෝ වැරැන්ඩා තියෙන්නේ නාවල. වෝඩ් ප්ලේස් එකේ තියෙන තැනට වඩා පොඩි නිස්කලංක ගතියක් තියෙනවා. හරියට නිකන් පරණ ගෙයක් මොඩිෆයි කරලා ගත්තා වගේ. හවස් වරුවට නම් එළියේ දාලා තියෙන පුටුවල වාඩිවෙන්නත් පුළුවන්. හැබැයි ඇතුළේ තමයි ඒසී එක තියෙන්නේ. ඒ නිසා රස්නේ තියෙන දවල් වරුවට හරියන්නේ ඇතුළේ සීට් තමයි.

කෑම බීම

වෝඩ් ප්ලේස් බ්‍රාන්ච් එකෙයි මේකෙයි තියෙන මෙනුවල වෙනසක් දකින්න නැහැ. දෙකේ ම තියෙන්නේ එක ම කෑම බීම. පැස්ටා, සැන්විච්, බර්ගර් වගේ ජාති මේ කෑම අතරේ තියෙනවා. බීම වර්ග විදියට තියෙන්නේ හොට් චොකලට්, කෝපි, ෆ්‍රැපේ ජාති. අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මොක්ටේල් එහෙමත් කොකෝ වැරැන්ඩා මෙනුවේ දැකගන්න පුළුවන්.

අපි ඔය අතරින් තෝරගත්තේ “වෙජිටබල් මුසාකා" (රු.830) එකකුයි, “එග්ස් බෙනඩික්ට්” (රු.660) එකකුයි. “බ්ලූබෙරි චොකලට් බ්ලෙන්ඩ්” (රු.680) එකකුයි, “කැෆේ මෝකා ලාටේ” (රු.570) එකකුයි ගත්තා බීමට.

මුලින් ම කියන්නම්කො එග්ස් බෙනඩික්ට් එක ගැන. මේක සුද්දගේ රටේ උදේට කන කෑමක්නේ. හැබැයි කොකෝ වැරැන්ඩා එකේ මේක ඕනේ ම වෙලාවක ගන්න පුළුවන්. හැබැයි මේ කෑම එක ගැන අපේ ඒ හැටි සන්තෝසයක් නෑ. පාවිච්චි කරලා තිබුණු බන් එක හෙන ම පරණයි. කෑලිවලට කැඩිලා යනවා. අනික දාලා තිබුණු හැම් තට්ටුවත් හරි ම තුනීයි, වගේ ම වේලිලා. හරියට තිබුණේ පෝච්ඩ් බිත්තර දෙක විතරයි. රුපියල් 660ක් කියන්නේ සාමාන්‍ය එග්ස් බෙනඩික්ට් එකක ගාණ වුණාට, මේකට නම් ඒ වගේ ගාණක් දෙන එක හරි ම පාඩුවක්.

වෙජිටබල් මුසාකා එක ශේප්. අනේ ඒ වුණාට මීට වඩා රසට මේක හදන්න තිබුණා කියලයි අපි නම් හිතන්නේ. මේකේ තිබුණේ බේක් කරපු එළවළු ටිකකුයි, මොස්රෙල්ලා චීසුයි. පොඩි සෝස් එකකුත් උඩින් වත් කරලා තිබුණා. වැඩේ කියන්නේ මේ මුසාකා එකේ වැඩිපුර ම තිබුණේ වම්බටු. දිනිති කිව්ව විදියට මේ කට්ටිය හදන වෙජි ලසඤ්ඤා එකත් පුරවලා තියෙන්නේ වම්බටුවලින්ලු. එළවළු ගුණයි තමයි. ඒ වුණාට මේ තරම් වම්බටු කන්නේ කොහොමද? අනික රුපියල් 830ක් කියන්නේ මේ වගේ කෑමකට හොඳට ම වැඩියි.

කෑමවලින් අප්සෙට් වෙච්ච අපේ හිත් යන්තන් හැදුණේ කොකෝ වැරැන්ඩා එකේ බීමවලින්. බ්ලූබෙරි චොකලට් බ්ලෙන්ඩ් එකේ හොඳ චොකලට් රසක් වගේ ම බ්ලූබෙරි රසක් තිබුණා. ගොඩක් උකුවට තිබුණු නිසා තවත් හොඳයි. චොකලට්වලට බ්ලූබෙරිවල ඇඹුල් රස එකතුවුණා ම දැනෙන්නේ නියම කික් එකක්. අනික මේක නියමෙට කූල් කරලා තිබුණනේ. රස්නේ වෙලාවට මරු බීම එක.

කැෆේ මෝකා ලාටේ එකත් හොඳයි. තඩි වීදුරුවක් පිරෙන්න දාලා දුන්නු මේ ලාටේ එකේ හොඳ කෝපි රසක් තිබුණා. ඒකට චොකලට් රසත් එකතු වෙද්දී තවත් නියමයි. ඒ වගේ ම පදම බලලා සීනි එකතු කරලා. ඒ නිසා ආසාවෙන් බොන්න පුළුවන්.

ඩෙසර්ට් එකට අපි ගත්තේ “කැරට් කේක්” (රු.420) කෑල්ලක්. හපොයි! මීට වඩා රස කේක් එකක් අපේ සාරා ඔෆිස් එකේදිත් හැදුවා. නිකමට බලන්නකෝ මේ පින්තූරේ දිහා. කැරට් කෑලි පිටින් පේන්න තියෙනවා කේක් එකේ. ඒ විතරක්යැ, මේක පැණි රසයි හොඳට ම. ඇත්ත ම කිව්වොත් කේක් එකේ තිබුණේ හෙන පෙඟුණු ගතියක්. හරියට තිබුණු එක ම දේ වුණේ මේකේ උඩ තියෙන ක්‍රීම් චීස් තට්ටුව විතරයි.

සර්විස් එක

අපි මෙතැනට ගොඩ වෙද්දීත් කැෆේ එකේ සෙනඟ හුඟක් හිටියා. හැබැයි සර්විස් එකේ ස්ලෝ ගතියක් දැකගන්න ලැබුණේ නැහැ. වැඩට ඉන්න අයත් හොඳට හිනා වෙලා කතා කරනවා.

අවසාන වශයෙන්

කෑමවල නම් අරහෙම අවුල් තියෙනවා තමයි. ඒත් බීම හොඳයි. ඒ නිසා කෝපි කෝප්පයක් බොන්න මෙතැනට ගොඩ වුණාට අවුලක් නැතිවෙයි. හැබැයි වෝඩ් ප්ලේස් බ්‍රාන්ච් එකේදී අපි කෑව ස්පගැටි, බර්ගර් එහෙම නම් ගොඩක් හොඳයි. ඒත් මෙතැන ඒවා කොහොමද කියන්න දන්නේ නැහැ. ඔයාලා ගිහින් කාලා බලලා, අපටත් විස්තරේ කියන්නකෝ එහෙනම් හොඳේ.  


TIP

Go for the drinks, you'd be much happier.

Address

No. 441, Nawala Road, Sri Jayewardenepura Kotte.

Directions

It's a few meters from Kirimandala Mawatha, onto your left, before Keells.

Contacts

Facebook Instagram Website

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Cakes Sandwiches Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4


Latest