4/5

Panorama (Colombo City Hotel)

No. 33, Canal Row, Fort, Colombo 01


Panorama is a bar cum restaurant that we don't love as a restaurant, though we have heard good things about the bar. Come here at sunset for the view and don't be too picky about anything else. 


කොටුව පහුකරගෙන යනවනං කලම්බු සිටි හොටෙල් එක අනිවාර්යයෙන් ඇස ගැටෙනවා. කොළඹ තියෙන ලස්සන පරණ ගොඩනැගිල්ලක් වෙන මේක අර යුරෝපීය චිත්‍රපටියක දකින ගොඩනැගිල්ලක වගේ අමුතු ගතියක් තියෙනවා. අපි ගිහිල්ල බැලුවෙ මෙතන පස්වෙනි තට්ටුවේ  තියෙන, වැඩි ප්‍රසිද්ධියක් නැති, බාර් එකටයි රෙස්ටුරන්ට් එකටයි.

 

තැන සහ සේවය


අපි ලොබියට ඇවිල්ල බැලුවම ටිකක් අන්දුන් කුන්දුන් වුණා, ටැපලුනා. මොකද කොහෙටද යන්න ඕනේ කියල මග පෙන්වන්න කිසිම සලකුණක් නැහැ. අපි එලියට යන්න හදනකොට තමයි එතැන හිටපු සේවකයෝ කිහිපදෙනෙක් අපිව ලිෆ්ට් එක තියෙන තැන පෙන්නලා උඩට යන හැටි කිව්වෙ. හැබැයි උඩම තට්ටුවට ගිහිල්ලත් මේ ප්‍රශ්නෙටම මුහුණ දුන්නා. හැබැයි කොහොමහරි අපි තැන හොයාගෙන ගිහිල්ල වාඩි වුණා.

 

රෙස්ටෝරන්ට් එක මාර ලස්සනයි. හොඳට ඉඩ තියෙනවා. හොඳට එලිය වැටෙනවා. බැල්කනියක් තියෙනවා එලියට ගිහිල්ල ඉන්න පුළුවන්. දවාලේ ගිනි අව්වේ නං එලියට යන එකනං පොඩ්ඩක් අමාරුයි. රෑට තමයි එතන හොඳ. ඒත් කොයි වෙලාවෙත් එතනින් පේන දර්ශනය නං නියමයි. ලෝක වෙළද මධ්‍යස්ථානය, ඩච් හොස්පිටල් එක සහ ඒ අතරමැද තියෙන ගොඩනැගිලි ඔක්කොමයි බොහොම අපුරුවට මෙතනින් බලාගන්න පුළුවන්. හවසක යාලුවෝ කට්ටියක් එක්ක සෙට් වෙන්න මේ බැල්කනියේ ආලින්දය පංකාදුයි.

කාර්ය මණ්ඩලය ගැන නං වැරැද්දක් කියන්න බැහැ. අපි හිතුවට වැඩිය ටිකක් කෑම එන්න පරක්කු වුනාට ඒ අය බොහොම සුහදව අපිට ඔක්කොම ගෙනත් දුන්නා. අපි කෑම ගෙනියන්න අවශ්‍ය වුනාමත් නිසි විදියට කෑම සකස් කරලා ගෙනාවා. අපේ උවමනාවන් ගැන හිතල අවශ්‍ය දේ ගෙනල්ල කරදර නොකර හිටියා.

 

කෑම

සේවය තරම්ම නං කෑම හොඳයි කියන්න බැහැ. අපිට තේරිච්ච විදියට නං මෙතන කෑම ප්‍රධාන ආහාර වේල් වලට වැඩිය බයිට් එකට ගන්න තමයි සකස් වෙලා තියෙන්නෙ. සැර බිම ජාතිවල ගාන බැලුවම මේ වගේ  අනිත් තැන්වලට සාපේක්ෂව ගාන අඩුයි. අරක්කු ෂොට් එකක් රු 220 ඉඳල පටන් ගන්නෙ. ගණන් වැඩිම එක රු. 500යි. විස්කි, ජින්, රම් ෂොට් රු 300කට වැඩි වෙන්නෙ කලාතුරකින්. ඉතින් බොන්න එන්න නං කලම්බු සිටි හොටෙල් එක ගැලපෙන තැනක් කියල කියන්න පුළුවන්.

අපි පැනොරාමා චිලි ඉස්සෝ (රු. 875) සහ ස්ටර් ෆ්‍රයිඩ් පෝක් (රු. 596) ඔඩර් කලා. චිලි ඉස්සෝ එකත් එක්ක බාස්මති බත්, ගාලික් පාන් සහ තම්බපු එළවලු ආවා. පෝක් එක්කත් පාන් එක ඇරෙන්න ඉතිරි ටික ලැබුණා.

මේ දෙකේම බඩ පිරෙන්න කන්න තරං බෙදල තිබුණා. හැබැයි බත් එක වේලිලා තිබුණා කන්න අමාරු තරමට. තම්බපු එළවලු නං කිසිම රසක් තිබුනේ නැහැ.

ඉස්සොත්  ලෝබකමක් නැතුව බෙදල තිබුණා. හැබැයි ඉස්සෝ උඩින් තක්කාලි සෝස් දාල තිබුනේ බැදුම පෙඟෙන විදියටයි. එකෙන් ඉස්සන්ගේ රස සම්පුර්ණයෙන් නැතිවුණා. ගාලික් පාන් එක නං බටර් සහ සුදුලූනු යහමින් දාල සැහෙන්න රසයි. සුදුලූනු බටර් එකට කෙටිල නෙමෙයි, පාන් වලට බටර් ගාල ඊට උඩින් සුදුලූනු කෑලි දාල තිබුනේ.  

ස්ටර් ෆ්‍රයිඩ් පෝක් එකෙත් විශේෂ හොඳක් කියන්න බැහැ. මස් වල ටිකක් රබර් ගතියක් තිබුණා විතරක් නෙමෙයි සෝස් වල ගිල්ලවල වගේ තමයි ආවේ. ඉතින් මස් රසක් කොහෙන් එන්නද?

අපි බැදපු අල කෑලි පිඟානකුත් ගත්තා (රු. 334). අපිට හතර දෙනෙකුට විතර කන්න පුළුවන් ප්‍රමාණයක් ලැබුණා. ලුනු මදි වුනත් මිරිස් ඇතිවෙන්න ලැබෙනවා.

අවසාන වශයෙන්


අපිට හිතාගන්න බැහැ මෙතනට මීට වැඩිය සෙනගක් එන්නෙ නැත්තේ ඇයි කියල. ටිකක් කෑම හොඳ මදි තමයි ඒත් ඒක හදල අරගෙන ටිකක් තැන පොලිෂ් කරල ගත්තනං  කලම්බු සිටි හොටෙල් එක මීට වැඩිය දියුණු වෙන්න පුළුවන් තැනක්. හොඳ තැනක, හොඳ ඉඩක් එක්ක තියෙන්නේ. මන්සකාන්ත කොළඹ නගරයේ දර්ශනයක් බලාගන්නත් පුළුවන්. මෙතන කෑමට කෙසේ වෙතත් බොන්න නං නියමයි. වැඩි සෙනගක් නැතුව සැහැල්ලු සැන්දෑවක් ගත කරන්න මෙතනට යන්න.


TIP

In through the reception take the elevator to the 5th floor. Pay special attention to the menu - Panorama's Presentation of the Devil isnt their only gem.


Latest