4/5

Far East Indonesian Cuisine

372 Vauxhall Street, Colombo 2.


From regulars like Nasi Goreng and Mee Goreng, this place also dishes out a pretty great beef rendang.


ඔයාල රේස් කෝර්ස් එකේ ගුඩ් මාර්කට් එක පැත්තෙ ලඟදි ගියානං සමහර විට එතන තිබුණ බොහොම සුහදශීලි ඉන්දුනීසියානු කට්ටියක් දුවපු ඉන්දුනීසියානු කෑම ස්ටෝල් එකෙන් කාල යන්න ඇති. අපේ කට්ටිය නං කාල තිබුන. කාල කෑම ගැන සෑහෙන්න ගුණ කිව්වා. ඉතින් මේ අය දියුණු වෙලා කඩේකුත් දාගෙන කියල ආරංචි වුනාම අපිටත් මාර හැපී. ඉතින් පුළුවන් ඉක්මනට අපි ඒ පැත්තට ගොඩ වුනා.

කෑම


අපි ඉස්සෙල්ලම ඕඩර් කලේ චිකන් සාටේ එක (කූරක් රු. 140). මේක නිකං කෙබාබ් වගේ. ඉරටු වල ගහල උයල තියෙන මස් කැබලි. මේකේ සැබෑ ඉන්දුනීසියන් තාලෙට හොඳට පීනට් සෝස් එකක් උඩින් දාල තමයි එන්නෙ. ඒක නිකං පීනට් බටර් වගේ. කියන්න තරම් වරදක් නං නැහැ. මස රසට තිබුණා. ඉරටුවෙන් ඇද්ද ගමන් ගැලවෙන තරමට හොඳට උයල තිබුණ. හැබැයි සමහර විට ඔබට හිතෙන්න පුළුවන් පීනට් සෝස් වැඩියි කියල. කොහොමත් ඊට පස්සෙ ආපු කෑමවල හැටියට මේක අපි ඕඩර් කලේ අපරාදේ කියල අපිට හිතුන.

අයිෂාට ගෙනාවේ හුමාලෙන් තම්බපු බත් එක්ක බීෆ් රෙන්ඩෑන් එක (රු. 600.). රෙන්ඩෑන් කියන්නේ පාරම්පරික ඉන්දුනීසියානු ඉවීමේ ක්‍රමයක්. මේකෙදි මස සෑහෙන්න වෙලාවක් තිස්සේ හෙමින් මඳ ගින්නේ උයනවා. එතකොට තුනපහ වල රස මසට  හොඳට කාවදිනවා විතරක් නෙමෙයි මස සෑහෙන්න බුරුල් වෙනවා. නිකම්ම කටුවෙන් ගැලවිලා එන්න තරම්ම.

අපිට ආපු රෙන්ඩෑන් එකත් එහෙමයි. මසට පොඩ්ඩක් අත තියන්න විතරයි ඕනේ කෑලි වලට කැඩෙන්න. කිසි කරදරයක් නැහැ කෙලින්ම කටේ දියවෙන්න ඔන්න මෙන්න තරං තැම්බිලා තිබුනේ. හැබැයි රස නැතුව නෙමෙයි. පුදුම රසක් මේකේ තිබුනේ. තුනපහ රහ මසේ අන්තිම කෑල්ලටම කාවැදිලා, ඒ තුනපහ එක්ක පොල්කිරිත් පදමට කාවැදිලා  තිබුන හින්ද රස මිස කිසිම සැරක් නං දැනුනේ නැහැ. මේ බීෆ් කෑල්ලක් කටේ තිබ්බම වෙන මුකුත් ඕන්නෑ. අපිට මේකෙන් තව පිඟානක් විතර කන්න තිබුණා. ගානටම උයල තිබුණ බත් එකේ සැහැල්ලු රහට මේක නියමෙට ගැලපුනා.

මෙහෙම කිව්වට රසට උයපු එළවලු ටිකකුත් ලැබුණා. පොඩි එළවලු අච්චාරුවකුයි, පැණි රසයි මිරිස් සැරයි දෙකම ආපු සම්බෝලෙකුයි, අපිට උයල තිබුන විදිය හිතාගන්න බැරිවුණු රස වම්බටු කරියකුයි, බෝංචි කරියකුයි බත් එකත් එක්ක ආවා.

මට ගෙනාවේ චිකන් නාසි එක (රු 550). ඇත්තම කියන්න නං නාසි එකේ චිකන් වැඩිය තිබුනද නැද්ද කියල හොයාගන්න බැරිවුණා. හැබැයි එ්කේ බත් එක නං පංකාදුයි. වෙන ලංකා නාසි එක්ක එන බත වගේ සැරට කුළුබඩු රස ආවේ නැහැ. මේ බත් එකේ බොහොම සැහැල්ලු ප්‍රසන්න රසයක් තමයි එන්නේ. අර පැණි රසයි මිරිස් සැරයි දෙකම ආපු සම්බෝලෙත් මේකත් එක්ක ආවා.

ආපු කෑම අපිට අල්ලලා ගිය හින්ද අපි දෙන්නා බැලුව තව මොනවහරි කාල බලන්න පුළුවන් වෙයිද කියල. වැඩිය හිත හිත හිටියෙ නැහැ අපි රෝස් චිකන් කාලකුත් ඕඩර් කළා (රු 350). ආවේ රෝස් කරපු කුකුලගේ ගාතයක්, හැබැයි ඒක සෑහෙන්න ලොකුයි. බීෆ් එකේ තරම් සැරක් චිකන් එකේ තිබුනේ නැහැ. ඊට වැඩිය ලා තුනපහ රසක් තමයි ආවේ. හැබයි බීෆ් එක වගේම මේකත් හොඳට රස වදිනකං හෙමිහිට උයල කියල අපිට හිතුනා. හැන්දක් තියන්න විතරයි ඕන වුනේ මස් ගැලවිලා එනවා. බීෆ් එකේ තද පාට වගේ නෙමෙයි, රන්වන් පාටක් තමයි මේ චිකන් එකේ තිබුණේ.

මෙතනින් කෝපි ජාති කිහිපයක්ම ගන්න පුළුවන්. කෝපි කොච්චර රසද කියන්නෙ අපි තුනක්ම ගත්ත. වයිට් කෝපි එකයි, මික්ස්ඩ් කෝපි එකයි, තව ඒගොල්ලොන්ගේ රෙකම්දාරුවෙන් කෝපි එකකුයි ගත්තා. ඒකෙ නං නම මතකත් නැහැ. එක්කෝ මොකා එකක් නැත්තං මාකියාටෝ එකක්. කෝපිවල නියම කොපි රස එන්න හදල තිබුණා. අර සමහර තැන් වල වගේ කෝපි තිත්ත එන විදියට හදල තිබුනේ නැහැ. කෝපි රස සමබර වෙන්න ගාණට කිරිත් දාල, සිසිල් වෙන්න අයිස් දාලත් තිබිච්ච හින්ද, ගිනි මද්දහනේ බොන්න මේක කියාපු පානයක්. මම බීපු රසම කෝපි කෝප්ප වලින් එකක් කියල කියන්න පුළුවන්. කෝප්පේ නං පොඩියි තමයි, එ්ත් ගාන සැර නැහැ. රුපියල් 100යි. ඒක හින්ද දෙක තුනක් තුනක් වුනත් බොන්න හිතෙනවා.

සේවය

මාර හොඳයි. හැමෝම පැනල උදව්වයි. කෑම ගැන හොඳට දන්නවා. ඕන දෙයක් ගැන අහල බලන්න, සම්පුර්ණ විස්තරේ සිනාමුසු මුහුණකින් යුතුව මෙතන අය ඔයාලට කියයි. හැබැයි එක්කෙනෙකුට වගේ ඇරෙන්න අනිත් අයට හොඳට ඉංග්‍රීසි, සිංහල හුරුව අඩුයි. කෑම පටස් ගාල ගෙනත් දීල කරදර නොකර කන්න දෙනවා. අපි ඉල්ලපු පරක්කුව විතරයි. අපි දවල් වරුවේ ගියාමත් වෙන පාරිභෝගිකයෝ තමන්ට කැමති විදිය කියල කෑම පාර්සල් කරගෙන යනවා අපි දැක්ක.

තැන

ෆා ඊස්ට් ඉන්දුනීසියන් එක තියෙන්නෙ කොළඹ වොක්ෂෝල් විදිය, කොල්වින් ආර් ද සිල්වා මාවතින් පටන් ගන්න තැනමයි. ඒ කියන්නේ ඉබ්බන්වල හන්දියට එහා පැත්තෙ තියෙන අනිත් හන්දියේ. හයිඩ් පාක් කෝනර් එකේ ලොකු APIIT බිල්ඩිම හොයාගත්තනං හරි. එතනින් පාර පැන්නම කඩේ පේනවා.

කඩේ එච්චර ලොකු නැහැ. හය දෙනෙකුට එතන ටිකක් තද වෙලා කාල යන්න පුළුවන්. වැඩිය අත පය දිග අරින්න නං හිතන්න එපා. මෙතන ඉඳන් කනවට වැඩිය ගෙනිහිල්ල කන එක සැපයි කියල ඔයාලට හිතෙන්න බැරි නැහැ. මේගොල්ලෝ ඩිලිවරිත් කරනවා. ඒක හින්ද එහෙම කරන එකත් නරක නැහැ.

අවසාන වශයෙන්

ෆා ඊස්ට් ඉන්දුනීසියන් එක කොළඹ කෑම සීන් එකට හුඟක් හොඳ එකතුවක් කියල අපි හිතනවා. සාක්කුවට හුඟක් අමාරුවක් නැති හින්දත්, ලංකා චීන කෑම කාලම එපා වෙලානං පොඩ්ඩක් මෙතනට ගිහිං බලන්න. මං හිතන්නේ ඔයාලට සැහෙන්න අල්ලලා යයි.


TIP

Their cold coffees are the bomb.

Address

372 Vauxhall Street, Colombo 2.

Directions

You can find this almost right at the top of Vauxhall Street if you're coming from the Ibbanwala Junction side. Closest landmarks are APIIT, Hyde Park, and the Arpico Supercentre.

Contacts

Facebook

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Beef

Cuisine

Malay

Ratings Breakdown

Quality Rating
3
Service Rating
4
Ambience Rating
4


Latest