5/5

Footsteps To Freedom


‘Footsteps to Freedom - A Walk across Sri Lanka to Raise Awareness on Mental Health’ is a dream in motion to raise funds to facilitate and provide psycho-social support for children in affected areas, while on a journey to create awareness about mental health.


හොඳ සෞඛ්‍යමත් පුද්ගලයෙක්ව නිර්වචනය කරන්න කිව්වොත්, අපට හුඟක් වෙලාවට ලැබෙන්නේ මෙන්න මේ වගේ උත්තර.

"ලෙඩක් දුකක් නැතුව ඉන්න එකනේ සෞඛ්‍යමත් කියලා කියන්නේ"

"හොඳට කාලා බීලා, දුවල පැනලා ඉන්න අය තමයි සෞඛ්‍යමත්"

"අර අරයා නම් හැමදාම Gym යනවා. හොඳ උස මහතට ඉන්නෙත් ඒකනේ. එයා නම් හොඳ සෞඛ්‍යමත් පුද්ගලයෙක්"

කායික සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත්, ඔව්; අපට තරමක නිගමනයකට එන්න පුළුවන් මේ වගේ අය කායික සෞඛ්‍යය පැත්තෙන් හොඳ තැනක ඉන්නවා කියලා. ඒත් ඒ වගේ කෙනෙක්ගේ වුණත් ඔළුව ඇතුළේ කොච්චර නම් ප්‍රශ්න ඇත්ද? රැකියාවේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, මුදල් ප්‍රශ්න; අපි හීනෙකින්වත් නොහිතන අයට පවා මේ වගේ ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවල්වලදී තමයි මානසික සෞඛ්‍යය කියලා දෙයක් තියෙන බව අපේ ගොඩක් අයට මතක් වෙන්නේ.

මානසික සෞඛ්‍යය කියන දේ වැදගත්කම හුඟක් අයට අමතක වෙනවා වගේම, මතක් වුණු වෙලාවට ඒ ගැන කතා කරන්නත් අපේ ගොඩක් අය කැමති නැහැ. මානසික ප්‍රශ්න තියෙන අයව අපකීර්තියට ලක් කරන්න විතරක් නෙවෙයි, තව තවත් එයාලව මානසිකව වැටෙන්න හේතුවෙලා තියෙන්නෙත් සමාජයේ තියෙන මේ ආකල්පම තමයි. මානසික සෞඛ්‍යය ගැන කතා කරනවට වඩා, ඒ ප්‍රශ්නෙන් පැනලා යන්න දරන කාලෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ.

මෙන්න මේ ඛේදනීය තත්වය නිසාම, මානසික සෞඛ්‍යයේ තියෙන වැදගත්කම, ඒ වගේ මානසික ගැටළු තියෙන අයට සමාජයෙන් ලැබෙන්න ඕනේ සැලකිල්ල ගැන කියලා දෙන්න අපූරු පාගමනක් මේ දිනවල ලෑස්ති කෙරෙමින් පවතිනවා. නිවේන්ද්‍ර උඩුමන් සහ හංසනී ගුණසේකර කියන මනෝ විද්‍යාඥයන් දෙපළ තමයි මේ වැඩේට අත තියලා තියෙන්නේ. Footsteps to Freedom නමින් හැඳින්වෙන මේ පාගමන ලංකාවේ දෙකෙළවර යා කරමින් කිලෝමීටර 750ක පමණ දුරක් ගෙවන්න සූදානම්.

අගෝස්තු 18 වෙනිදා දකුණු පළාතේ දෙවුන්දර තුඩුවෙන් තමයි මේ පාද යාත්‍රාව ඇරඹෙන්නේ. ඒ විදියට පටන්ගන්න මේ ගමන, දින 30ක හෝ 40ක කාලයක් ඇතුළත, පේදුරු තුඩුවට ළඟාවෙන්න බලාපොරොත්තු වෙන බව තමයි නිවේන්ද්‍ර උඩුමන් සහ හංසනී ගුණසේකර යන මනෝ විද්‍යාඥ දෙපළගෙන් දැනගන්න ලැබුණේ. කලින් කිව්වා වගේම, මානසික ගැටළු අඳුනාගන්නේ කොහොමද කියන එක, ඒ වගේ ගැටළු ඇති අයට උදව් කරන විදිය ගැන ලංකාවේ අයට කියලා දෙන්න මේ පාගමනෙන් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මානසික ප්‍රශ්න තියෙන ළමයින්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන සමුත්ඨාන සම්පත් මධ්‍යස්ථානයට රුපියල් මිලියනයක ආධාර එකතු කරන එකත් මේ පාගමනේ අරමුණක්.

මේ Footsteps to Freedom පාගමන පියවර 6කින් සමන්විත වෙන විදියට තමයි ලැස්ති කරලා තියෙන්නේ.

පියවර 1 : දෙවුන්දර සිට රත්නපුර

පියවර 2 : රත්නපුර සිට නුවර

පියවර 3 : නුවර සිට දඹුල්ල

පියවර 4 : දඹුල්ල සිට වව්නියාව

පියවර 5 : වව්නියාව සිට කිලිනොච්චිය

පියවර 6 : කිලිනොච්චිය සිට පේදුරු තුඩුව

මෑතකදී සිද්ධ වෙච්ච ගංවතුර ආපදාවෙන් හානියට පත්වෙච්ච අරණායක, කිලිනොච්චි වගේ පැතිවල පුංචි එවුන්ගේ මානසික තත්වය නඟා සිටුවන්න මේ පාද යාත්‍රාවෙන් ලොකු පිටිවහලක් ලැබෙයි කියලා මේකේ සංවිධායකවරු හිතනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒකට හැකි විදියෙන් ඔයාලගෙත් දායකත්වය ලබාදෙන්න. 0777 346 334, 0711 558 304 දුරකතන අංකවලින් වගේම footstepstofreedom2016@gmail.com කියන ඊමේල් ලිපිනයට ලියලා මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔයාලටත් පුළුවන්.



Latest