2/5

Havi Restaurant

Madiwela, Sri Jayawardanapura Kotte


The cabanas thatched with coconut leaves at the Havi Restaurant make a beautiful setting that only gets more amazing as the evening lights come on. With the greenery all around you, this is a good place for a chilled out time.


අද සෙනසුරාදනෙ. ඒ නිසා සෑහෙන්න පරිස්සමට තමයි මම ෆෝන් කෝල්ස් ආන්සර් කරන්නෙ. අනික උත්තර දෙද්දිත් දෙපාරක් හිතනව. වෙන දෙයක් නිසා නෙවෙයි, පඩි ආපු සතියෙ වීක් එන්ඩ් එක කියන්නෙ පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් අතේ තියනෙ තුට්ටු දෙකට කෙල වෙන දවසක් නිසා.

ඒත් ඉතින් කරුමෙ කියන එකට පිටුපාන්න බෑනෙ. මට ඒ අවාසනාවන්ත කෝල් එක ආවෙ බස් එකේ යන අතරෙ, අඩ නින්දෙ ඉන්න කොට. සිහි විකල්ලෙන් වගේ ෆෝන් එක ආන්සර් කරපු නිසා කටින් පිටවුනේ ඇත්ත විස්තරේ කියන්නකො. ඒකෙ පල විපාක විදියට මට තලවතුගොඩ හංදියෙන් බහින්න සිද්ධ වුනා. බැහැල විනාඩියක්වත් යන්න හම්බවුනේ නෑ, මගේ හොඳම යාලුවගේ වාහනේ ලොකු හෝන් පාරකුත් ගහ ගෙනම එතනට ආවෙ තව යාලුවෙකුත් දාගෙනමයි.

එතනින් එහාට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කීල්ස් එකට ගිහින් වී එක්ස් අරක්කු බෝතලයක් ගත්තු යාලුවා වාහනේට ඒක වහනේට දැම්මෙ “අද බෝතලේ මං ගාණෙ. බයිට් උඹල ගාණෙ” කියාගෙන. ඊට පස්සෙ කෙලින්ම ගියේ මාදිවෙල හාවි රෙස්ට් එකට.

වාතාවරණය

හොඳට දන්න කියන තැන වුනාට මමත් ගොඩ කාලෙකින් මෙතනට ඇවිත් තිබුණෙ නෑ. අනික බෝතලේට තුන්දෙනෙක් ඉන්න නිසා ලොකු බයක් තිබුණෙත් නෑ. කොහොම වුනත් නිදිමතේ බස් එකෙන් බැහැපු මම පියවි සිහියට ආවෙ හාවි රෙස්ට් එකේ පොල් අතු හෙවිලි කරපු ලස්සන කබානා ටික දැක්කාම. ලීයෙන් හදල මැටි ගහපු මේ කබානා වලට ලයිට් දැම්මාම තවත් ලස්සනයි. වටේට ගස් කොළන් ටිකකුත් තියෙන නිසා කූල් එකේ ඉන්න පුලුවන්. හැරත් ලාවට වැදී ගෙන එද්දි හීනියට සිංදුවක් කියන්නත් බැරි කමක් නෑ.

සේවාව

ලොකු කබානා එකේ අයිනකට වෙන්න තිබුණු ලී මේසයකට සෙට් වුනු අපි ඉස්සෙල්ලම කලේ වේටර් යාලුවට කියල මෙනුවක් ගෙන්න ගත්ත එක. ඒ ගැම්මටම සෝඩා බෝතල් දෙකකුත් ඕඩර් කරපු අපි කොහේ කොතනක බොන්න ගියත් හොට් බටර් කට්ල් ෆිෂ් හරි, හොට් බටර් මෂ්රෑම් හරි තියෙන නිසා හිතලම ඒව මග ඇරියා. බයිට් එකට ගෙන්න ගත්තෙ ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකකුයි (රු. 750) චීස් ඔම්ලට් එකකුයි (රු.525)

බයිට් එක එනකම් පොඩි කයියක් දාගෙන ඉඳපු අපි කෝකටත් කියල බෝතලේ කඩල ෂොට් එකක් දාගත්තා. වැඩේ කියන්නෙ සැන්ඩි දා ගන්න විදියක් නෑනෙ, වේටර් සෝඩා බෝතල් ටික කඩන්නෙ නැතුවයි තියල ගිහින් තියෙන්නෙ. ‘කෝ මේ මනුස්සය’ කට්ටිය යකා නැගල වේටර්ව හොයද්දි මෙන්න බොලේ පොර එනව ලොකු පිඟානකුත් අරගෙන කුස්සිය පැත්තෙ ඉඳන්. හොඳවැයින් දෙකක් කියන්න දතකට මැදගෙන හිටියට මොකද කවුරුත් නෑ එක වචනයක් කිව්වෙ.

ආහාර

හහ්… බැලින්නම් විනාඩි 5ට මෙයා ෆිෂ් ඇන්ඩ් චිපස් එකත් අරගෙනමයි ඇවිල්ල තියෙන්නෙ. ආයෙ කොහෙ බනින්නද තෑන්ක්ස් කරනව මිසක්. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලින් වැහුණු පිඟානෙ හැංගිලා තිබුණෙ දවටල බැදපු ලොකු තෝර මාලු කෑලි තොගයක්. මතකෙ හැටියට දහයක් විතර තිබුණා. චියර්ස් පාරක් දාලා වැඩේ පටන් ගත්තු අපි තුන්දෙනාගෙම අත් ගියේ ක්‍රිස්පි ගතියෙන් අනූන ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකට. අරක්කු සැරට නියමෙට කැපෙන කොච්චි මිරිස් පේස්ට් එකක් එක්ක තමයි ක්‍රිස්පි ෆිෂ් එක මේසෙට ඇවිල්ල තිබුණෙ. ලොකු මාලු කෑලි නිසා ෂොට් දෙකකට වුනත් ඇති වෙන ගාණයි. හැබැයි ඉතින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලට තක්කාලි සෝස් තිබුණෙ නැති එක නම් ලොකු අවුලක්.

කොහොම හරි ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකේ ෆිෂ් ටික ඉවර වෙන්න නම් විනාඩි 20ක් වත් ගියේ නෑ. ඉතිරි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකෙන් ගේම බැලන්ස් කරන් යනව කියල හතපු අපි ආයෙත් ෂොට් ටිකක් දාගත්තා. දාගෙන උගුරට හලා ගන්න යනකොටම වගේ තමයි වේටර් යාලුවා චීස් ඔම්ලට් එක මේසෙට ගෙනාවෙ. හරියට නිකන් දිවැස් තියෙනව වගේ. කැරට්, ලීක්ස්, කරපිංචා, සුදු ලූණූ පදමට දාලා හදපු චීස් ඔම්ලට් එකෙන් දාන දුමත් එක්ක පිස්සු හැදෙන සුවඳක් එන්නෙ. රසත් ඒ වගේම නැතෑ කියල හයට කපපු ලොකු ඔම්ලට් එකෙන් කෑල්ල ගාණෙ ගත්තු අපි අරක්කු ටිකත් උගුරට හලාගෙනම රස බලන්න පටන් ගත්තා. හපොයි, සුවඳ තිබුණට රසේ නම් ඒ හැටි හොඳක් නෑ, නෝර්මල්. චීස් රස දැනෙන්නෙත් ලාවට. අනික ගම්මිරිස් වලින් එන්න ඕන සැර ගතියත් අඩුයි. බිත්තරයි එළවලුයි තොගයක් දාලා තිබුණට වැඩක් නෑනෙ, රස නැත්නම්.

ඔම්ලට් එකෙන් කැඩිච්ච හිත හදා ගන්නයි බඩ කටත් පුරව ගන්නයි කියල හිතල තමයි අපි මික්ස් චොප්සි රයිස් එකක් (රු. 950) ඕඩර් කලේ, හැබැයි පෝක් නොදා. කන්, කීං ගාන්න වැදිල හිටියත් කොහොම හරි අපි චොප්සිය එනකම් ඉඳල තියෙනව. මොනව කියෙව්වද කියල නම් මතක නෑ. මතකෙ හැටියට අතරින් පතර සිංදුවක් එහෙම නම් කිව්වා. ඒත් චොප්සියෙ රසත් එච්චරටම සෙට් වුනේ නෑ කියල වගකීමෙන් කියන්න පුලුවන්. මොකද එයාලා පාවිච්චි කරපු සෝස් වලින් ආපු රස අන්තිම සවුත්තුයි. තායි රසට කලවම් වුනු ශ්‍රී ලංකන් චයිනීස් රසක් තමයි තිබුනෙ. කිසිම ගැලපිල්ලක් නෑ. අරක්කු රසට කැපෙන තද සැර ගතිය නම් හොඳයි. ඒත් ලොකුවට කපල එකතු කරපු කැරට්, ලීක්ස්, ගෝවා වලින් එන දිය රහ තමයි වාවන්න බැරි. ඉස්සො, දැල්ලොත් තම්බල විතරයිද මන්දා. කුකුල් මස් බැදල වත් නෑ. හැබැයි ඉතින් බුල්සායි එක නම් පංකාදු පහට තිබුණා.

අවසාන වශයෙන්

ඔක්කොමත් හරි, බිල ආවාමනෙ කට්ටියගෙ වෙරි හිඳුනෙ. චීස් ඔම්ලට් එක රු. 525ක්. ඕන නම් ඕකෙ බිත්තර 3ක් තියෙන්න ඇති. අායෙ අර මෙලෝ රහක් නැති චොප්සියත් රු. 950ක්. මොනව කරන්නද, වෙරි මර ගාතෙ බිල ගෙවල ගෙදර ආපු අපි එන ගමන්ම හිතා ගත්තෙ ආයෙ හාවි යන්නෙ නෑ කියල. වෙන දෙයක් නිසා නෙවෙයි, අඩුම තරමෙ  ගාණට හරියන්න කෑම ටිකවත් රහට තියෙන්න එපැයි. ඒකත් නෑනෙ.


TIP

Try fish and chips with kochchi paste.

Address

Madiwela, Sri Jayawardanapura Kotte

Directions

Pass the Buddha statue at Madiwela Junction on Pita Kotte road and keep going about half a Kilometer to Pita Kotte side. Havi will be on your left hand side.

Contacts

Facebook



Latest