4/5

Lavinia Restaurant & Bar (Pelawatte)

No. 1106, Pannipitiya Road, Battaramulla


A mid-range bar-restaurant in Pelawatte


“ළඟින් හිටිය නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා” කියල තමයි කියන්න තියෙන්නෙ යාළු. සත්තයි, නොම්මර එකට තිබ්බ පැළවත්තෙ ලැවිනියා එක මෙලෝ රහක් නැති වෙලා. අනන්‍යතාවයට කියල දෙයක් ඉතුරු වෙලා තියෙනව නම් ඒ සේවක මිත්‍රයන්ගෙ සුහදශීලී සේවාව විතරයි. අරක්කුවලටත් මොකක්දෝ වෙනසක් සිද්ධවෙන පාටයි.

කොහොම හරි ඒකෙන් මේකෙන් වුණේ, මම හොඳ හැටි යාළුවන් ගෙන් අහගත්ත එක තමයි. මොකද මමනෙ බෝතල් පාර්ටිය ඕර්ගනයිස් කළේ.

කාලෙකින් පොඩි සොට් එකක් දාන ගමන් කයියක් එක්ක සිංදුවක් ගළපන්න බැරි වුණ නිසා, පහුගිය සෙනසුරාදා උදේ ඉඳන්ම මම කළේ අපේ කට්ටියට කෝල් කර කර හවස 5 වෙද්දි ලැවිනියා එකට එන්න කියන එක. අපේ උන්දලැගෙත් වෙලාවට කලාවට වැඩනෙ. ඒ නිසා අදාළ ස්ථානයට ගැළපෙද්දි හැන්දෑවෙ 6ත් පහුවෙලා. අඩියට දෙකට අපේ හාදයො දෙන්නවත් අරගෙන පාලම් තුන, ලැවිනියා එකේ උඩ තට්ටුවට ගොඩ වුණ, මම පුරුදු විදියට ගිහින් කොනේ මේසෙන් වාඩි වුණා.

හයියෝ! එතන එක කන් කරච්චලයයි. ජාති බේද ආගම් බේදවලට කියනව නෙවෙයි, ඇත්තටම දෙමළු ටිකක් පඩි අරන්. මොනව කරන්නද ඉතින්, ඇරඹුමම කඳුළක් වෙන අතරෙ, ටිකෙන් ටික මගේ යාළුව කියන දේ පවා මට ඇහෙන්නෙ නැති තත්ත්වෙට පත් වුණා. කරුමෙට වෙන යන්න තැනකුත් නෑ. කොහොම හරි අමාරුවෙන් කතාබහ කරගෙන, කෑමට ලැවිනියා ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස් එකකුයි (රු. 890), බයිට් එකට බ්ලැක් පෙපර් පෝක් එකකුයි (රු. 698), බොන්න පෙට්‍රෝෆ් වොඩ්කා බාගෙකුයි (රු. 693) ඕඩ්ර් කරපු අපි හිතේ දුක යන්න කියල සිග. තුනක් පත්තු කරගත්තා.

සිද්ධියෙ අවුල, ඕඩරේ ගන්න ආපු සේවක මිත්‍රයටත් තේරිලාද කොහෙද එයත් ඔළුව වනවන තමයි එතනින් ගියේ. අපේ හිත් කැඩෙන්න දෙන්න හොඳ නැති නිසා, ගිය පයින්ම ආපහු ආපු සේවක මිත්‍රයගෙ අතේ තිබුණෙ පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු, අත් පිස්නා ටික. හරි ලස්සන හිනාවක් දාලා හීන්සැරේ මේසෙ හදල දුන්න මිත්‍රයා එක්ක අපි පොඩි කයියක් දැම්මෙ කෑම බීම ටික ලෑස්ති වෙනකම් කියල.

එහෙමයි කියල මිත්‍රය නිකම් හිටියෙ නෑ. අපි ඉල්ලපු වොඩ්කා බාගෙත් මේසෙට ගෙනාවා. ඒත් පෝක් එකයි, රයිස් එකයි ගේන්න නම් විනාඩි 10ක් විතර ගියා. සමහර විට කුස්සිය බිසී වෙන්න ඇති.

මොන ප්‍රශ්නෙ තිබ්බත් පෝක් දැක්කාම පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බොන යාළුවෙක් ඉන්න නිසා අවුලක් ගියේ නෑ. වීදුරු තුනට අයිස් කැටයි, පදමට වොඩ්කයි වැටිලා වැඩේ පටන් ගත්තා.

ඇත්ත කියන්න එපැයි, මීට අවුරුද්දකට කලින් කාපු පෝක් එකයි මේකයි බලද්දි ඇස් දෙකට කඳුළු එනව. බ්ලැක් පෙපර් පෝර්ක් වල තියෙන්න ඕන සැර ගතිය කොහේ ගිහින්ද මන්දා. ප්ලේට් එකට එන පෝක් කෑලි ගාණත් අඩු වෙලා. තායි ස්ටයිල් එකට හැදෙද්දි තියෙන්න ඕන සෝස් රසවල් ටිකත් නිකන් ළාවට වගේ එන්නෙ. අර පෝක් නිසා කෑවා මිසක් නැත්නම්…

වැඩේ කියන්නෙ අපි දෙන්නෙක් දෙවනි වටේ යද්දි පෝක් නොකන යාළුව, දතකට විකාගෙන, ඔරවගෙන අපි දිහා බලන් ඉන්නව.

“මොකෝ බං?” මම නිකමට වගේ ඇහුවා.

“මේ, තොට වෙන දෙයක් තිබ්බෙම නැද්ද ගොනෝ ඕඩර් කරන්න. බලපන් මේක රයිස් එකක්ද පුඩිමක්ද කියල. හැටි විතරක්. ඒ මදිවට මෙලෝ රහක් නෑ. කහ පාට විතරයි. ඉස්සෙක්, දැල්ලෙක් ඇවිත් අපිව හොයා ගත්තොත් මිසක්, අපිට පුළුවන්ද කියපන් මේකෙ ඉස්සො හොයන්න. බොරුවට නිකං ලූණු කෑලි වගයකුයි, ලූණූ කොළයි නම් දාලා තියෙනව. ඒකත් හරි අඩුම තරමෙ කටට සැරට හදපන්කො. එහෙමත් නෑනෙ. මේක නම් පට්ට ස්පෙෂල් ඈ…” යාළුවට යකා නැගල.

වැඩේ ඇත්තද කියල බලන්න මමත් හැන්දක් දෙකක් බෙදා ගෙන බැලුවා. ආයෙ මොනවද ඉතින්, ‘ෂික්’ කියල තමයි කියන්න තියෙන්නෙ.

අසූහාරදාහට මළ පැනල ඉන්න යාළුවගෙ හිත හදන්න වෙන ක්‍රමයක් නැතිම තැන, මම සේවක මිත්‍රයට කතා කරල වෙජි චොප්සි එකක් (රු. 590) ඕඩර් කළා. අනේ මහත්තයො, ගුටි නොකා බේරුණේ අනූ නවයෙන්. චොප්සියෙ පජාතත්වය ගෙන්නපු හැම කෑම එකකටත් එහා කියන්නකො. ගම්මිරිසුයි, ලුණුයි අම්බානක දාලා පොඩි තත්වයකට ගත්තා.

ඒත්… එක්කො ඕන නෑ.

මගේ කරුමෙට ඒ වෙද්දි බෝතල් බාගෙත් ඉවර වෙලා. එකෙක්ටවත් වැදිලත් නෑ කුණුහරුප විමානෙන් ගැලවෙන්න තව බෝතල් බාගයක් ඕඩර් කරපු මම බයිට් මෙනුව දිහා හැරිලවත් බැලුවෙ නැත්තෙ වැඩක් නැති නිසා. පැත්තෙන් ගහන ටූ පීස් බෑන්ඩ් එකේ සිංදු රස විඳින්න හිතකුත් නෑ. පැය බාගෙට අන්තිම බාගෙ ඉවර කරපු අපි සෙනිකව ලැවිනියා එකෙන් එළියට ආවෙ හරිම සතුටින්. ඇයි ඉතින් වැදෙන්න කියල හිතලවත් නෑනෙ. සෙන්ටර් ෆ්‍රෙෂ් කන්න, පේර ගස් හොයන්න උවමනාවකුත් නැති නිසා, තුන් දෙනා වැඩ්ඩො වගේ ගෙවල්වල ගියා.

එක දේකුත් මතක තියාගෙන, ‘ලැවිනියා රෙස්ට් අපේ ලිස්ට් එකෙන් ක්ලෝස්’, සොරි!


TIP

Try Crumble-fried Handallo with the Kocchi sauce.

Address

No. 1106, Pannipitiya Road, Battaramulla

Directions

If you're travelling from Battaramulla on Pannipitiya Road, turn right at the Palam Thuna junction towards Parliament and travel 50 metres.

Contacts



Latest