4/5

Lavinia Restaurant & Bar (Pelawatte)

No. 1106, Pannipitiya Road, Battaramulla


A mid-range bar-restaurant in Pelawatte


මේ දවස්වල කාලගුණෙයි රටේ ප්‍රශ්නයි ඔෆිස් එකේ ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක බොන්න නම් වෙලාවක් කලාවක් ඕනත් නෑ. ඒත් ඉතිං අත දිගෑරලා බීවා වගේ නෙවෙයිනෙ, පහුවදා උදේ නැගිටගෙන වැඩට එන්න ගියාම. ඒ නිසා කෝකටත් කියලා අපි සිකුරාදා දවසක් ම දාගත්තා සෙට්වෙන්න.

තැන

බත්තරමුල්ල පාලං තුන හංදිය පහුකරන කවුරු වුණත් ලැවීනියා එක නොදැන ඉන්න විදියක් නෑ. පහළ තට්ටුවේ බේකරියයි කෑම කඩෙයි; උඩ තට්ටු දෙක තුනක් ම තියෙනවා බොන අයට.

පහළ තට්ටුව එච්චර හිතට ඇල්ලුවේ නැති හින්දා අපි වේටර් මල්ලිගෙන් ඇහුවම එයා තමයි කීවේ ඕන නම් රෑෆ්ටොප් එකට යන්නත් පුළුවන් කියලා. ඒත් ඉතිං මේ වැස්ස දවස්වල රූෆ්ටොප් එකට ගිහිං නාන්න වෙයිද දන්නෙත් නෑ කියල හිත හිතා තමයි අපි පඩි‌පෙළ නැග්ගෙ.

රූෆ්ටොප් එක වුණාට මේක සම්පූර්ණයෙන් කවර් වෙන්න වහලක් ගහලා තියෙන නිසා වැස්සෙන් නම් අවුලක් නෑ. වටේ වීව් එකත් එක්ක සනීප හුළඟකුත් වදිනවා. එකම අවුල පාරෙ යන වාහනවල සද්දෙ කණ ගාව ම ඇහෙන එක තමයි.

කෑම බීම

බොන්න ඕල්ඩ් ඇරැක් බෝතලයක් එක්ක බයිට් එකට මොකක්ද ගන්නෙ කියල කල්පනා කරද්දි ම තමා අපේ එකෙක් කීවේ හැඳැල්ලෝ ගමු කියලා. මේගොල්ලන්ගෙ මෙනූ එකේ හැඳැල්ලෝ ජාති කීපයක් ම තියෙනවා. වේටර් මල්ලිගෙන් ඇහුව ම එයා කීවේ ක්‍රම්බ් ෆ්‍රයිඩ් හැඳෑල්ලෝ එක (රු. 840) හොඳයි කියලා. දවල්ට කාපු නැති උන් කීපදෙනකුත් හිටපු නිසා ඒත් එක්ක ම ලැවිනියා ස්පෙෂල් මික්ස්ඩ් ෆ්‍රයිඩ්රයිස් එකකුත් (රු. 830) ගත්තා. පෝක් ඩිෂ්වලින් බයිට් එකට සෙට් වෙනව කියල වේටර් මල්ලි කීවේ බ්ලැක් පෙපර් පෝක් එක (රු. 1200). ඉතිං එයින් එකකුත් ගත්තා.

හැඳෑල්ලෝ එක නම් පට්ට! කොච්චි සම්බෝල ටිකකුත් ගාගත්තම ඉතිං කියල වැඩක් නෑ. මෙතන කොච්චි සම්බෝලෙත් ඔළුවෙන් දුම් දාන ගානට සැර නෑ; ලුණු ඇඹුල රසයි සැර ගතියයි ගානට. හැබැයි ඉතිං මේ ගාණෙ හැටියට තව වැඩිපුර හැඳැල්ලො හතරක් පහක්වත් ආව නම් තමයි වටින්නෙ.

බ්ලැක් පෙපර් පෝක් එකත් මරු. ඒකත් ඕනවට වඩා සැර නැති වුණාට බයිට් එකට සෙට්වෙන ගානට හොඳට ගම්මිරිස් වැටිලා තියෙනවා. තෙල් කෑලිත් වැඩිය නෑ.

සාමාන්‍යයෙන් ලැවිනියා ස්පෙෂල් මික්ස්ඩ් ෆ්‍රයිඩ්රයිස් එකට බීෆ්, පෝක්, ඉස්සො, දැල්ලො ඔක්කොම ආවට බීෆ් කන්නෙ නැති කට්ටියත් හිටපු නිසා අපි ඕඩර් කළේ බීෆ් නැතුව. මේකේ ප්‍රසන්ටේෂන් එක නම් මරු: බත කහ පාටයි. උඩින් ලූනු කොළයි, බැදපු ලූනුයි එහෙම දාලා. මස් මාළුත් සෑහෙන්න තිබුණා. හැබැයි බත් එකේ ලොකු ප්ලේවර් එකක් නම් නෑ. තැනින් තැන හැපෙන මුද්දරප්පලමුයි රටකජුයි එහෙම නිසා පොඩි පැණිරස ගතියකුත් එනවා. අපි නම් බ්ලැක් පෙපර් පෝක් එක්ක කාපු හින්දා අවුලක් වුණේ නෑ. ඒත් ඉතිං රු. 1400කට දෙන “ස්පෙෂල්” රයිස් එක කන්න තව සයිඩ් ඩිෂ් එකක්/ කරි එකකුත් ගන්න වෙනව කියන්නෙ නම් ටිකක් අවුල්.

සර්විස් එක

මෙතන සර්විස් එක මාර හොඳයි. අපි කියන්නත් කලින් අයිස් බාස්කට් එකයි, සෝස්, චිලිපේස්ට් ජාති ටිකයි ඔක්කොම මේසෙ උඩ. කෑම ටික මේසෙට එන්නත් වැඩි වෙලාවක් ගියේ නෑ. අපි ටිකක් රෑ වෙලා ඕඩර් කරපු බයිට් එකක් අවුල් ගියත් (ඒ වෙලාවේ වැදිලා තිබ්බ වැදිල්ලට ඒක ගැන ලියන්න තරම් මතකයක් නම් නෑ) වේටර් මල්ලිට කිවට පස්සෙ ඒක ටක්ගාලා ආපහු කුස්සියට යවලා හරියට හදලා ගෙනත් දුන්නා.

පහළ තට්ටුවෙ නම් බෑන්ඩ් එකකුත් ප්ලේ කරනවා; ඒත් එයාලා රූෆ්ටොප් එකට එන්නෙ නෑ. හතර වටේ දාලා තියෙන ස්ක්‍රීන්වලින් පරණ (හෝ එදා ලයිව් ගහන) ක්‍රිකට් මැච් බලන්න පුළුවන්.

අවසාන වශයෙන්

රෑ වේගන එද්දි කණ ගාව හෝන් පහන පාරෙ වාහන සද්දෙ අඩුවෙලා වැස්සකුත් වැටෙන්න ගත්තා. එතකොට නම් මෙතන මාර කූල්. මොකක් හරි හේතුවකට බෝතලේ ඉවරවෙද්දිත් කාටවත් වැඩිය වැදිල තිබුණෙ නැති නිසා එක බෝතලේ දෙක වෙලා තමයි අන්තිමට නැවතුණේ.

ඒ මොනව වුණත්, බත්තරමුල්ල පැත්තෙ බොන්න සෙට්වෙනව නම් අනිවා රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනත් තමයි පාලං තුන හංදියේ ලැවීනියා එක.


TIP

Try Crumble-fried Handallo with the Kocchi sauce.

Address

No. 1106, Pannipitiya Road, Battaramulla

Directions

If you're travelling from Battaramulla on Pannipitiya Road, turn right at the Palam Thuna junction towards Parliament and travel 50 metres.

Contacts



Latest