4/5

Lavinia Restaurant & Bar (Pelawatte)

No. 1106, Pannipitiya Road, Battaramulla


A mid-range bar-restaurant in Pelawatte


ලැවනියා අවන්හල කියන්නෙ පැලවත්තෙ, පාලම් තුන හංදියෙ තියෙන ප්‍රසිද්ධ අවන්හලක්. දවස් දෙක තුනක් තිස්සෙ ඔය අවන්හලට යන්න හිතාගෙන හිටියට මට වෙලාවක් ලැබුණෙ නෑ. ඒත් ගිය සිකුරාදා ටිකක් රෑ වෙලා මගේ යාළුවෙකුත් කතා කරගෙන මම ගියා ලැවනියා අවන්හලට. වැඩේ කියන්නෙ අපි එතනට යනකොට මගේ තව යාළුවො සෙට් එකක් එතනට ඇවිල්ලා, සෙට් වෙන්න. ‘‘අද නම් ගෙදර යන්න වෙන්නෙ නෑ බං’’ මාත් එක්ක ආපු යාළුවට හෙමිහිට කියාගෙන මම අවන්හලේ ඉස්සරහ තියෙන පොඩි පඩිපෙල නැග්ගා.

වාතාවරණය

ප‍්‍රධාන පාරවල් අයිනෙ තියෙන ගොඩක් අවන්හල්වල හරිහමන් වාහන නවත්වන අංගනයක් නැති වුණාට මේ අවහන්ලේ නම් ඒකටත් හරියන්න ලොකු වාහන නවත්වන අංගනයක් තියෙනවා. එක සැරයකට වාහන විස්සක් තිහක් වුණත් නවත්වන්න පුළුවන්. තට්ටු දෙකකට හදලා තියෙන මේ අවන්හලේ පල්ලෙහා තට්ටුවේ ටිකක් එළිමහන් ගතියක් එකතු වුණ තැනක තමයි මත්පැන් පානය කරන්න හදලා තියෙන්නේ. හැබැයි ඒ කොටස ටිකක් පොඩියි. පල්ලෙහා තට්ටුව වැඩිපුරම හදලා තියෙන්නේ පවුලේ උදවියත් එක්ක කෑම ගන්න එන අයට. අවන්හලට ඇතුල් වෙන තැන ඉස්සරහ ලස්සන දෙපළු ලී දොරක් දාලා තමයි පවුලේ භෝජනාගාරය වෙන් කරලා තියෙන්නේ. එතනම දකුණු පැත්තට වෙන්න උඩ තට්ටුවට යන්න පඩිපෙළ තියෙනවා.

ආහාර සහ සේවාව

‘‘සිත් තුල සුපිපුන සෙනෙහස් මල් දම් මිලින වී...’’ ෂහ්, හොඳ සද්දෙට උඩ තට්ටුවෙන් සිංදුවකුත් ඇහෙනවා. ඉතිං මම අඩියට දෙකට පඩිපෙළ නැගලා උඩ තට්ටුවේ අපේ කට්ටිය සෙට් වෙලා ඉඳපු මේසෙට ගිහින් වාඩි වුණා. ‘‘ආ... වාඩිවෙයන් මචං. මොනවද බොන්නෙ?’’ ඒ වෙනකොටත් හොඳ පදමට ඇවිල්ලා ඉඳපු යාළුවෙක් මගෙන් ඇහුවා. කොහොම හරි මම වාඩිවෙලා විනාඩියක් වත් ගියේ නෑ. අවන්හලේ සේවකයෙක් මගේ ළඟට ඇවිල්ලා ‘‘ සර්ට මොනවද  ඕනේ’’ කියලා අහන ගමන් මගේ අතට මෙනු තුනක් දුන්නා. දීලා නිකන් හිටියෙත් නෑ. පළවෙනි මෙනුව දිග ඇරලා ‘‘සර් මේකේ තියෙන්නේ ශ්‍රී ලන්කන් ඇන්ඩ් චයිනීස් කෑම වර්ග. එතකොට මේකේ තියෙන්නේ තායි කෑම වර්ග. මේ පොඩි මෙනුවේ බොන දේවල් ටික තියෙනවා. බලලා කියන්නකෝ’’ කිව්වා.

මාරයි නේ, මෙයාලගේ සේවාවනම් නියමයි. හරිම සුහදශීලියි. ඉතිං මෙනුව පුරා හොයලා බලලා සේවක මිත‍්‍රයාගෙනුත් අහලා චිලී පේස්ට් කවලම් කල ගැඹුරු තෙලේ බැදපු ඌරුමස් (Deep fried pork with chilli paste - රු. 698) එකකුයි. උණු බටර් තවරපු හතු (Hot butter mushroom - රු. 490) එකකුයි ඇණවුම් කළා. ඒ විතරක් නෙවෙයි චිවාස් රීගල් මිලිලීටර් පනහකුත් (රු. 478) ගේන්න කිව්වා.

හවස් යාමෙට පොඩි ෂොට් එකක් දානන්න මෙතන නම් නියමයි වගේ. උඩ තට්ටුවේ මත්පැන් බොන්න තියෙන කොටසෙ හතර දෙනෙකුට වාඩිවෙන්න පුළුවන් මේස දහයක් දොළහකුත් ඊට වැඩි පිරිසකට වාඩි වෙන්න පුළුවන් මේස දෙක තුනකුත් දාලා හදලා තියෙනවා වගේම හොඳ පිරිසිදු බවකුත් තියෙනවා. වම් පැත්ත පේලියේ වාඩි වෙන කෙනෙකුට කෙලින්ම පේන්නේ ප‍්‍රධාන පාරට එහා පැත්තෙන් තියෙන ලොකු ඇල. හරිම ලස්සනයි. හොඳ හුළගකුත් නිතරම එනවා. වායු සමනය කරලා කරලා තියෙන අවන්හල් අතරේ තියෙන මේ අවන්හල් වලට නම් මම හරිම කැමතියි.

වටපිටාවේ ලස්සන බල බල ඉඳපු මම සුපුරුදු විදියට යාළුවෝ සෙට් එකත් එක්ක කතාවට වැටුණා. විනාඩි දහයක්වත් ගියේ නෑ. මම ඉල්ලපු බයිට් දෙකයි විස්කි ෂොට් එකයි මේසෙට ආවා. හරිම කඩිසරව වැඩකරන සේවක මිත‍්‍රයෝ ටික පාරිභෝගිකයන්ව තත්පරයක්වත් රස්තියාදු කරන්නනම් කැමති නෑ වගේ. ඉල්ලන දේවල්  පුළුවන් තරම් ඉක්මණට ගේන්න තමයි එයාලා උත්සාහ කරන්නේ.

සිත්ගන්නා සුළු බට පොතු වලින් වියපු පොඩි වට්ටියක තමයි හොට් බටර් මෂ්රූම් එක මේසෙට ඇවිල්ලා තිබුණේ. ඒ අතරේ බැදපු තායි ඌරු මස් එකත් වීදුරු බන්දේසියක දාලා මේසේ පැත්තකින් තිබුණා. සේවක මිත‍්‍රයා හිස් පිඟානක් හැන්දක් වගේම ගෑරප්පුවකුත් මගේ ඉස්සරහින් තියලා මේසෙ හදලා දුන්නා. යාළුවෝ ටික ආපු පදමට මමත් ඉක්මණට එන්න ඕන නිසා විස්කි වීදුරුවෙන් උගුරක් හලාගන්න ගමන් මම හතු කෑල්ලක සෝස් ටිකක් තවරගෙන රස බැලුවා. ‘‘බයිට් නම් අන්න බයිට්’’ ටිකක් හීනියට කපලා බටර් තවරලා බේක් කරලා උණු උණුවේ හදලා තිබුණ හතු කෑල්ලක් කරස් ගාලා හැපෙන කොට විස්කි සැර ඉබේටම කැපිලා යනවා. හොඳට බේක් වුණු සුවඳකුයි බටර් රසයි නම් හොට් බටර් මෂ්රූම් එකේ නියමෙට තියෙනවා.

ඒ එක්කම වගේ මම චිලී පේස්ට් එකතු කරපු බැදපු ඌරූ මස් කෑල්ලකුත් හිමිහිට රස බැලුවා. නියමයි නේ. ලැවනියා අවන්හලේ බයිට් නම් එකකට එකක් පරදින්නේ නෑ. තායිලන්ත කෑම වලට ආවේණික පැණි රස මැද්දෙන් එන සැර ගතිය එකතු වුණු බැදපු ඌරූමස් කෑල්ලෙන් දැනෙන රස කියල නිම කරන්න බෑ. මේ ඌරූමස් එකේ හොඳ සැරක් තිබුණට බොන කට්ටියට වැඩිපුර සැර  ඕන නිසා කොච්චි මිරිස් පේස්ට් එකකුත් පුංචි දීසියක දාලා මේසෙට ඇවිල්ලා තිබුණා.

යාළුවෝ ටිකත් මගේ බයිට් එකටම සෙට් වුණ නිසා විස්කි ටික උගුරට දෙකට හලා ගත්ත මම ඉක්මණට බයිට් වල රස බැලුවා. දැන් නම් ලාවට වැදීගෙන එනවා වගේ. ‘‘මචං තම මෙනවහරි ගේමුද’’ මම යාළුවන්ගෙන් ඇහුවා. ‘‘බයිට් ඉවරයි බං. චීස් ඔම්ලට් එකක් එක්ක උඹට බොන්නත් මොනවහරි ගෙන්න ගනින්’’ ඒ ටිකට අපේ කට්ටිය මගේ රසම රස බයිට් පිඟන් දෙකම ඉවර කරලා. ඉතිං මම ආයේ සේවක මිත‍්‍රයා කොහෙද කියලා බලන්න ආපහු හැරුණා. මම හැරෙනවා දැකපු මිත‍්‍රයා අපේ මේසේ ළඟට ඇවිල්ලා ‘‘මොනවද සර් ගේන්න ඕනේ’’ අපෙන් ඇහුවා. ‘‘හ්ම්... චීස් ඔම්ලට් (රු. 410) එකකුයි ටිකිලා මිලිලීටර් පනහකුයි (රු. 518) ගේන්කෝ’’ මම ඇණවුම් කළා.

ආයේ ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ යාළුවනේ. ඇණවුම් කරලා විනාඩි පහක් යන්න ඇති. උණු උණුවේ මේසෙට ආවේ බිත්තර හතරක්, චීස්, කැරට්, අමු මිරිස්, ළූණු, ලීක්ස් අඩු නැතිව දාලා හදපු චීස් ඔම්ලට් එක. ගම්මිරිස් ටිකකුත් උඩින් දාලා තිබුණට සේවක මිත‍්‍රයා අපේ රස පදම දැනගෙන කොහෙද තව පුංචි ගම්මිරිස් බඳුනකුත් මේසෙන් ගෙනල්ලා තිබ්බා. ටිකිලා ෂොට් එක, එක උගුරට හලා ගත්ත මම බයිට් එකට කියලා ඒකටම එන ලුණු ටිකකුයි දෙහි යුෂ ටිකකුයි දිවේ ගාගෙන ඉක්මණට අත යැව්වේ ඔම්ලට් එකට. ලොකු ඔම්ලට් කෑලි දෙකක් පිඟානට දාගත්ත මම අපේ කට්ටිය රෑ කෑම වේලට ඇණවුම් කරපු මාළු ෆ‍්‍රයිඩ් රයිස් (රු. 630) එකෙනුත් හැඳි දෙකක් බෙදා ගත්තා.

ෆ‍්‍රයිඩ් රයිස් එකේ නම් කියන්න තරම් ලොකු විශේෂත්වයක් නෑ. මම නම් හිතන්නේ ඒකට තව බැදපු මාළු කෑලි එකතු වෙන්න ඕනේ කියලා. මොකද බැලූ බැල්මට ෆ‍්‍රයිඩ් රයිස් එක ටිකක් හිස් වගේ. කැරට්, ළූණු, ලීක්ස් වගේම පොඩියට කපලා බැදපු මාළු කෑලිත් එකතු කරලා හදලා තිබුණට අනෙක් කෑම එක්ක බලද්දි ෆ‍්‍රයිඩ් රයිස් එකේ රස වගේම සැර ගතියත් ටිකක් මදි. හැබැයි දුම් දදා මේසෙට ආපු චීස් ඔම්ලට් එකේ නම් රස නියමයි. එකෙන් කෑලි දෙකක් කද්දිම මගේ බඩ පිරිලා. චීස් රස අතරින් පුංචි සැර ගතියකුත් එන ඔම්ලට් එකේ හොඳ සුවඳකුත් තිබුණා.

කොහොම හරි අපේ කට්ටිය රෑ කෑම කාලා ඉවරවෙනකොට එකොළහටත් ලං වෙලා. ‘‘යමං මචං, අදනම් ගෙදරින් පන්නයි වගේ’’ ඔන්න දැන් තමයි කට්ටියට හදිස්සි වෙලා තියෙන්නේ. ඉතිං අපිට උපරිම සේවයක් ලබාදුන්න සේවක මිත්‍රයාට කතා කරපු අපි බිලත් ගෙවලා අනෙක් සේවක මිත‍්‍රයෝ සෙට් එකත් එක්ක ෆොටෝ එකකුත් ගත්තෙ පැලවත්ත ලැවනියා අවන්හලට යන එන අයට සුපිරිම සේවයක් ලබාදෙන සේවක මිත‍්‍රයෝ සෙට් එක ඔයාලටත් පෙන්වන්න ඕනි නිසා. ඊට පස්සෙ හොඳ පදමට වැදිලා හිටිය අපි හැමෝටම සමු දීලා පැලවත්තෙ ලැවිනියා අවන්හලෙන් එලියට බැස්සේ හරිම සතුටින්.

අනුමිතිය

ඇත්තටම යාළුවනේ රසම රස බයිට් එකක් එක්ක පොඩි ෂොට් එකක් දාන්න පැලවත්ත ලැවනියා අවන්හලට යන ඔයාලට එතන ඉන්න මිත‍්‍රශීලි සේවකයින්ගෙන් ලැබෙන සුහද සේවාව නිසා කිසිම අඩු පාඩුවක් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.


TIP

Try Crumble-fried Handallo with the Kocchi sauce.

Address

No. 1106, Pannipitiya Road, Battaramulla

Directions

If you're travelling from Battaramulla on Pannipitiya Road, turn right at the Palam Thuna junction towards Parliament and travel 50 metres.

Contacts



Latest