3/5

Loft Lounge (Colombo Courtyard)

32, Alfred House Avenue, Kollupitiya, Colombo 03


The Loft Lounge and Cloud Cafe are Colombo Courtyard's two-in-one bar combo. The former is indoors while the latter is on the rooftop. As far as cocktails go, CC fares quite well, but the food leaves much to be desired.


Colombo Courtyard කියන්නේ කොළඹට ළඟදි ආපු Boutique වර්ගයේ හෝටලයක්. පොඩියට, ලස්සනට බම්බලපිටිය මැද්දෙ කරගෙන යන මෙතන ඒ වගේම ලස්සන පොඩි බාර් එකක් තියෙනවා. එ්කට නම දාලා තියෙන්නෙ The Loft කියල.

තැන

Colombo Courtyard එක තියෙන්නෙ බ්‍රිතාන්‍ය කවුන්සිලය කිට්ටුව; ඊට එහා ලේන් එකේ; HSBC බැංකුව පැත්තට වෙන්න, ඩුප්ලිකේෂන් පාරේ. කොල්ලුපිටියේ ඉඳල බම්බලපිටියට එනකොට වම් පැත්තෙ ලොකු අකුරෙන් Colombo Courtyard කියල ගහල තියෙන තාප්පේ මග ඇරෙන්න විදියක් නැහැ. ගේට්ටුවෙන් ඇතුළට ආපු ගමන් වමට හැරුණම පඩිපෙළයි ලිෆ්ට් එකයි තියෙනවා. ඒකෙන් පළවෙනි තට්ටුවට ගියාම තමයි The Loft එක තියෙන්නෙ.

තැන එච්චර ලොකු නැහැ. පොඩි තීරු කෑල්ලක් තමයි තියෙන්නෙ. බාර් එක තියෙනවා. ඒක දෙපැත්තේ වාඩිවෙලා ඉන්න කුෂන් පුටු දාපු තැන් තියෙනවා. ඒ ඇරුණම උස මේස පුටු සෙට් කිහිපයක් කාමරේ මැද්දෙ තියෙනවා. එක බිත්තියක් නං සම්පුර්ණයෙන් වීදුරු. එක ලොකු ජනේලයක් වගේ. රෑ වෙලා බාර් එක ඇතුළේ අඩ අඳුරේ, පල්ලෙහා පාරේ කාර්වල එළිය ලස්සනට එහෙ මෙහෙ යන හැටි, ඩ්‍රින්ක් එකක් අතේ තියාගෙන බලං ඉන්න පුළුවන්. වැඩිය සද්දෙට සංගීතේ දාන්නේ නැහැ. සෙනග අඩුයි. ඉතින් සන්සුන්ව සැන්දෑවක් ගත කරන්න තැනක්.

කෑම බීම

සෙනග අඩුවෙන්න එක හේතුවක් වෙන්න ඇත්තේ ගණන් දැකල වෙන්නැති. සාක්කුව උස්සං යන්න බැරි තරං බරයි නං, මෙතනිනං පටස් ගාල බර අඩුකරගන්න පුළුවන්. කමක් නෑ, ආපු එකනේ කියල අපි ඉතින් මෙනුව බලල ඕඩර් කරන්න ගත්තා.

ජැමෙයිකන් බ්‍රීස් (රු.1100) එකේ බකාර්ඩි රම්, රෙඩ් රම්, දොඩම් මද්‍යසාර, ඇප්රිකොට් මද්‍යසාර, නැවුම් දොඩම් යුෂ සහ නැවුම් අන්නාසි යුෂ දාල හදල තියෙන්නෙ. මේක ලොකුවට ආවට රස හුඟක් දුරට දොඩම් ජූස් එකක් වගේ. වැඩිය මද්‍යසාරවල රසක්වත් සැරක්වත් ආවේ නැහැ. දොඩම් යුෂවලට ඒවා ඔක්කොම යටවෙලා යනවා.

ඩාර්ක් ඇන්ඩ් ස්ටෝර්මි (රු.950) එකෙත් එච්චර මද්‍යසාර දාල නැහැ. ඇත්තම කියන්න මේකේ මොනා තිබුණද කියන්න බැහැ වැඩිය රසක් ආවේ නැති නිසා. මෙනුවේ හැටියට නං මේකේ ඩාර්ක් රම්, නැවුම් දෙහි, නැවුම් ඉඟුරු, ජින්ජර් බියර් දාල හදල තියෙන්නේ.

ග්‍රීන් හොර්නට් ඩ්‍රින්ක් (රු.950) එකට සම්මානයක් ලැබුණ කියල අපිට ආරංචි වෙච්ච හින්ද ඒක අරං බැලුවා. මේකේ අරක්කු, නැවුම් ඇඹරැල්ලා යුෂ, නැවුම් බැසිල් කොළ, නැවුම් දෙහි යුෂ සහ සීනි සිරප් දාල හදල තියෙන්නෙ. මේකේ ඔක්කොටම වැඩිය ඇඹරැල්ලා රස තමයි ආවේ. හදන්න ගත්තු අනිත් කොටස්වල පොඩ්ඩක්වත් රස දැනුණේ නැහැ.

ලෝන්ග් අයිලන්ඩ් අයිස් ටී (රු.1200)එකේ නං ටිකක් සැර වැදුණා. හැබැයි එකෙත් තිබිච්ච ප්‍රශ්නේ තමයි හොඳ රස මුසුවක් නොතිබිච්ච එක. ස්මර්නොෆ් වොඩ්කා, ටෙකිලා, රොක්ලන්ඩ් වයිට් රම්, ගෝර්ඩන්ස් ජින්, ට්‍රිපල් සෙක්, දෙහි, කොකා කෝලා දාල තිබුණා කියල තමයි මෙනුවේ තිබුණේ.

කෑම නං ඊට වැඩිය හොඳට ගියා. අපි පීසා රෝමන්ස් (රු.1500) පීසා එකක් තමයි ප්‍රධාන කෑමකට ඔර්ඩර් කළේ. පෝක් හැම්, තක්කාලි, වියළි තක්කාලි, බෙල් පෙපර්, ළුණු, ඔලිව් සහ මොසරෙල්ලා චීස් තමයි මේක හදන්න උපයෝගී කරලා තිබුණේ. පීසා එක ගානේ හැටියට හුඟක් පොඩි වැඩියි. මේ ගානට ජියොවානීස් වගේ තැනකින් ලොකු පීසා එකක් ගන්න පුළුවන්. පොඩි වුණාට රස නම් එච්චර පොඩි නැහැ. මේක දුක නැතුව කෑවා. රසයි.

චිකන් පකොරා (රු.700) එක බයිට් එකට හොඳයි. පොඩි චිකන් කෑලි කඩල පිටි බැටර් එකක දවටලා බැදලා, සුදු ළූණු සහ මිරිස් සෝස් එකක් එක්ක දෙනවා. මාර රසයි. කරකර ගාල හැපෙන කොට සිරා. ගානේ හැටියට නං දුන්නට වඩා වැඩිපුර දෙන්න තිබුණා

අවසානයට

සමස්ථයක් හැටියට ගත්තම නං ලොෆ්ට් එකට යන එක අතින් පාඩුයි. ගෙවපු ගානට වටින කෑම බීම ලැබුණ නං දුක නැහැ. ඒ වුණාට තත්වේ එහෙම නෙමෙයි.


TIP

If you're planning on having more than one drink, drop in during their happy hour.

Address

32, Alfred House Avenue, Kollupitiya, Colombo 03

Directions

Go down Duplication Road past Queen's Road. The Colombo Courtyard is across from the Dialog Arcade, before the junction.

Contacts

Facebook Website

Open 5.30 PM–12 AM

Cuisine

Western

Price Range

More than Rs.1500

Dish Types

Alcoholic Beer Cocktails

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4


Latest