Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Marine Grill

No 25, Station Avenue, Marine Dr, Colombo 6


A not so small resto down Marine Drive that's perfect for when you're with a bunch of people who can't decide what they want.



කොළඹ කෑම කඩ ගැන කතා කරද්දි මරීන් ඩ්‍රයිව් එක කියන්නෙ අමතක කරන්න බැරි ප්‍රදේශයක්. ඒ තරමට මරීන් ඩ්‍රයිව් එක දිගට ඉන්දියන් ද, චයිනීස් ද, ශ්‍රී ලංකන් ද, මාංශ ද, නිර්මාංශ ද වෙනසක් නැතුව, නානාප්‍රකාර කෑම කඩ තියනවා. අද කියන්න යන්නෙත් ඒ වගේ මුහුදෙ අසිරිය විඳ විඳ කෑම කන්න පුළුවන් මරීන් ඩ්‍රයිව් එකේ කෑම කඩයක් ගැන.

තැන

මේකෙ නම මරීන් ග්‍රිල්. තියෙන්නේ වැල්ලවත්ත දුම්රියපළ කිට්ටුව, මරීන් ඩ්‍රයිව් එකේ. පිළිවෙළ, පිරිසිදු තැනක් කියල දුටු පමණින් තේරෙනවා. ඇතුළු වුණාමයි අපිට දකින්න ලැබුණේ රෙස්ටොරන්ට් එක එළියෙන් පේනවට වඩා සෑහෙන ලොකු බව. මොකද කිව්වොත්, මරීන් ග්‍රිල් කියන්නෙ එක ම ගොඩනැඟිල්ලේ කොටස් දෙකකට වෙන් කරපු රෙස්ටොරන්ට් එකක්. මේ කොටස් දෙකේ කෑම මෙනු වගේ ම පෙනුමත් සම්පූර්ණයෙන් ම එකිනෙකට වෙනස්.

පළවෙනි කොටස

උස, කොට, එක එක සයිස් පාට පාට මේස, කුෂන් පුටු, ලී බංකු පිළිවෙළින් ඇරේන්ජ් කරල තියන මේ කොටසෙන් බර්ගර්ස්, සබ්මැරීන්, ෆ්‍රයිස් වගේ කෑම ජාති ගන්න පුළුවන්. බීම මෙනු එකේ නං තිබුණේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් විතරයි.

අපි ගත්තේ ගාලික් බ්‍රෙඩ් (රු. 250) එක්ක ක්‍රිස්පි චිකන් ෂවර්මා එකක් (රු. 480).

ස්ටාටර් එකක් විදිහට අපි ගත්ත ගාලික් බ්‍රෙඩ් එකට පාන් වෙනුවට පාවිච්චි කරල තිබුණෙ බනිස් නිසා, බටර් සහ ගාලික් රස එක්ක ම යන්තමින් පැණි රසකුත් දැනුණා. ඒක ම ඉතිං බඩගිනි වැඩි වෙන්න හේතුවක් නේ!

සලාද කොළ, ගෝවා එක්ක දවටපු ක්‍රිස්පි චිකන්වලට ඇති පදමට සෝස් සහ චීස් එහෙම දාල, ඒ ඔක්කොම සොෆ්ට් පීටා රොටියක ඔතලා දුන්න ෂවර්මා එකත් අපි හිතුවට වඩා සෑහෙන හොඳ තත්ත්වෙකයි තිබුණෙ.

දෙවෙනි කොටස

ප්‍රමාණයෙන් ලොකු උස ලී පුටු මේස එක්ක, හුඟ දෙනෙකුට එක පාර කෑම කන්න සෑහෙන ඉඩ තියන මේ කොටස නම් කරල තියෙන්නෙ ඉන්දියන් සහ චයිනීස් රෙස්ටොරන්ට් එකක් වශයෙන්. ජාති දෙක ම කලවම් කරගන්නෙ නැතුව අපි මෙතනින් ඉන්දියන් කෑම විතරක් කාල බලන්න හිතුවා. ඒ හින්ද ඔන්න අපි ගාලික් නාන් එකයි (රු. 170), චිකන් ටික්කා මසාලා එකයි (රු. 650) ඕඩර් කළා.

දෙකට කපලා වට්ටියක දාල ආපු ගාලික් නාන් එකට ඇති තරං ගාලික් පාවිච්චි කරල තිබුණ බව පෙනුණා. පොඩි ගාලික් නාන් කෑල්ලක් චිකන් ටික්කා මසාලා එකත් එක්ක දවටල කටට දාගත්තම තමයි තරු විසි වුණේ! වෙන්න ඕන විදිහට ම මේ කරිය හෙන සැරයි. චිකන් කෑලි ටිකත් සොෆ්ට් නිසා හායිහූයි ගගා ඕන තරං කතහැකි. පොඩ්ඩක් අසාමාන්‍ය තද තැඹිලි පාට තමයි අමුත්තකට තිබුණෙ.

කට දැවිල්ලට තකට තක කියල අපිට උණු උණුවෙන් මොනාහරි බොන්න ඕනකම තිබුණට බීම විදිහට මෙයාල ළඟ තිබුණේ ෆෘට් ජූස්, මිල්ක්ෂේක් වගේ සීතල බීම ජාති විතරයි. ඉතිං අපිත් හිත වෙනස් කරගෙන කට දැවිල්ල යන්නත් එක්ක කියල චොක්ලට් අයිස්ක්‍රීම් මිල්ක්ෂේක් එකක් (රු. 350) ගත්තා. වැඩිය සීනි දාල නැති නිසා ගාණට කිරි රස එක්ක චොක්ලට් රස ආවත්, මේ බීම එක තව පොඩ්ඩක් විතර උකු වුණා නං අපි කැමතියි.

සර්විස් එක

මරීන් ග්‍රිල් රෙස්ටොරන්ට් එකේ කොටස් දෙකෙන් ම අපිට ලැබුණ සර්විස් එක සතුටුදායකයි. කෑම තෝරන්න අපිට උදව් ලැබුණා වගේ ම, විනාඩි දහයක් විතර ඇතුළත මේසෙට කෑම බීම ආවා.

අවසාන වශයෙන්

චයිනීස් බඩගින්නක්, ඉන්දියන් බඩගින්නක් විතරක් නෙමෙයි, ෆාස්ට් ෆුඩ් බඩගින්නක් ආවත්, ඉන්නෙ මරීන් ඩ්‍රයිව් එක ආසන්නව නං, තෝරගන්න ලේසිම ඔප්ෂන් එකක් තමයි මරීන් ග්‍රිල් රෙස්ටොරන්ට් එක.

See 1 Comment



Latest