4/5

New York Grill and Cuisine

No. 10, Saranankara Road, Pamankada, Dehiwala


A resto in Saranankara Road that serves up NYC inspired food.


නිව්යෝක්වල හදන විදිහේ කෑම තියන කඩයක් ගැන කියපු ගමන් හිතෙන්නෙ නං මේ ලංකාවෙ මොන නිව්යෝක් ද කියල නෙ? හැබැයි අපිට ආව එහෙම ආරංචියක්. ඒ පාර අපි වහ වහාම ඒ පැත්ත බලා යන්න පිටත් වුණා. 

තැන

මේක තියෙන්නෙ දෙහිවල සරණංකර පාරෙ. තව ලේසි කරොත් හරියටම ප්‍රසිද්ධ තවලම කෑම කඩේට අල්ලපු කඩේ. පාර අයිනටම වෙන්න තියන නිසා හොයාගන්න අමාරු නෑ. චුරු චුරු ගාල වැස්සක් වැටෙන අස්සෙම තමයි අපි මෙතන හොයාගෙන ගියේ. වැස්ස වෙලාව හින්ද ද කොහෙද අපි ඇතුල් වෙනකොට වැඩි දෙනෙක් ඇතුළේ හිටියෙ නෑ. පිළිවෙළට පුටු මේස හදල පිරිසිදුවට තියන ප්‍රසන්න තැනක්.

කෑම

ඔන්න ඉතින් හොඳට ඉඩ ඇතුව වාඩිවෙලා එහෙම නිව්යෝක් ටයිප් එකේ කෑම කන්න හිතාගෙන අපි එයාලගෙ මෙනු එක දිහා බැලුවා. ග්‍රිල් කරපුවා, බර්ගර්ස්, බ්‍රිස්කට්, සැන්ඩ්විචස්, රැප්ස්, සැලඩ්, ෆ්‍රයිඩ් රයිස් වගේ එක එක ජාතියේ කෑම වර්ග දිග ලිස්ට් එකක්. ඔක්කොම මස්මාංශ පැත්තට බරයි.

අපි මුලින්ම ඕඩර් කළේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. (රු. 300) ඒ එක්කම චීස් බර්ගර් එකක්. (රු. 900) ඊළඟට ෆිලී චීස් ස්ටේක් එකක්. (රු. 900) බීම විදිහට නං මෙතන විශේෂ දෙයක් නෑ, තියෙන්නෙ සාමාන්‍ය සොෆ්ට් ඩ්‍රින්ක්ස් තමයි.

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික කර කර ගාල හැපෙන තරමට බැදලා උඩින් ගම්මිරිස් චුට්ටක් ඉහලා. නරකම නෑ! හැබැයි පොඩ්ඩක් තෙල් ගතිය වැඩියි කියල හිතුණා. ඒ වගේම අතරින් පතර ෆ්‍රයිස් ටිකක් වැඩිපුර බැදිලා තද දුඹුරු පාටට හැරිලා තිබුණා.

චීස් බර්ගර් එක පෙනුමෙන් හරිම ඉහළයි. දුටු පමණින් කන්න හිතෙනවා. ඇත්තටම මේකේ විශේෂත්වය තමයි, මේක කාගන්න බැරි තරම් විසාලයි. ඒ හින්දම කනකොට පොඩ්ඩක් හැම තැනම ගාගෙන කන්න ඕන විදිහෙ බර්ගර් එකක් මේක. රස නං කියල වැඩක් නෑ! ඇතුළේ තිබ්බ පැටී එක, සලාද කොළ, තක්කාලි අනංමනං ඔක්කොම උපරිම ෆ්‍රෙෂ්. ඒ වගේම සෝස් පුරවලා, හතරවටින්ම චීසුත් පුරවලා.

ෆිලී චීස් ස්ටේක් එකත් චීස් බර්ගර් එකට දෙවැනි නෑ. මේ සැන්ඩ්විච් එක හොඳටම සොෆ්ට්. ඇතුළේ බීෆ් ෆිලිං එක කටට සැරට, චීස් රසට නියම බටහිර කෑම ආරට හදල තිබුණා. මේකත් කලින් වගේම කාල ඉවර කරන්න බැරි තරම් ලොකුයි!

සර්විස් එක

සර්විස් එක සුහදයි. ඒ වගේම ඉක්මන්. අපිට කෑම ඕඩර් කරන්න කලින් සිලෙක්ට් කරන්න ඕන තරම් වෙලා දුන්නා වගේම, අපි කෑම කන අතරෙත් සැරින් සැරේ එයාල අපේ උවමනා එපාකම් හොයල බැලුවා.

අවසාන වශයෙන්

පටන් අරන් වැඩි කාලයක් නැතත් නිව්යෝක් ග්‍රිල් ඇන්ඩ් ක්විසින් එක අපේ බලාපොරොත්තු කඩ කළේ නෑ. මිල ගණනින් ටිකක් වැඩි වුණත් ඒකට හරි යන්න ඒගොල්ලො කෑම ටික කොලිටියට, ප්‍රමාණෙනුත් ලොකුවට දෙනව නේ. ඉතිං මේක වෙස්ටන් කෑම කන්න ආස අය යන්නම ඕන තැනක් කියල නිර්දේශ කරන්න පුළුවන්.

Address

No. 10, Saranankara Road, Pamankada, Dehiwala

Contacts

Facebook E-Mail



Latest