3/5

Pela (Thimbirigasyaya)

15, Ven. Muruththettuwe Ananda Himi Mawatha, Colombo


A small buth kadey down Ven. Muruththettuwe Ananda Himi Mawatha.


දවල් දෙකට එන්න කිව්වම, “නෑ බං මං එක වෙද්දී උඹලගේ ළඟ ඉන්නම්” කියලා, තුනහමාරට විතර එන යාළුවෙක් ඔයාලගේ සෙට් එකේ ඉන්නවද? අපරාදේ කියන්න බෑ පහුගිය දවසකත් මායි තව එකෙකුයි ඒ වගේ එකෙක් නිසා අලි කට්ටක් කෑවා.

“මොකෝ බං පරක්කු වුණේ?” වරුවක් ගෙවුණට පස්සේ ආව අපේ යාළුවගෙන් මං ඇහුවේ හිතේ තියෙන කේන්තිය හංගගෙන.

“නෑ බං මං එනින් ගමන් පැලට ගොඩවෙලා ආවේ”

මායි අනිත් යාළුවයි මූණට මූණ බැලුවා. “මේකා මේ මොනවද කියන්නේ? කොළඹ මැද්දේ කොයින්ද පැලක්?”

බැලින්නම් මේ යෝධයා කියලා තියෙන්නේ තිඹිරිගස්යායේ තියෙන බත් කඩයක් ගැන. කඩේ නමයි, කෑම ගැනයි අහපු විස්තරෙන් මට, මේකෙන් බත් කටක් කනකම් ඉවසිල්ලක් නැතිවුණා. පහුවෙනිදා ම තව යාළුවෙකුත් එකතු කරගෙන මං මේ පැත්තට ගියේ ඒ නිසයි.  

තැන

තිඹිරිගස්යායේ කලර් ලයිට් එකෙන් ජාවත්ත පාරට හැරිලා මීටර් විස්සක් තිහක් වගේ ඉස්සරහට එද්දී, පාරේ වම් අත පැත්තේ තියෙන “පැල” ලේසියෙන් ම කෙනෙක්ට මඟ හැරෙන්න පුළුවන් තැනක්. මොකද මේක සෑහෙන පොඩි පොට් එකක්. බිත්ති දෙකකින් වටවුණු දොරුවක් වගේ තැනක තමයි තියෙන්නේ. එලියේ පොඩි බෝඩ් කෑල්ලක් එහෙමත් පොඩියට ගහලා තියෙනවා. වටපිට බලබල ඇවිදගෙන යද්දී, අශෝකාරාම පන්සල හරියට ආවොත්, ටක් ගාලා හැරිලා අඩි හය හතක් පිටිපස්සට ඇවිදගෙන එන්න. මේක තියෙන්නේ ඒ පන්සල කිට්ටුව, ඒකට කලින්.

මෙතැන එක සැරේ දහදෙනෙක් ට වගේ කෑම ගන්න පුළුවන්. කැමති නම් බත් පාර්සල් කරලා අරගෙන යන්නත් පුළුවන්. මැටි මුට්ටිවල දාලා තියෙන එළවලු, බත්, මාළු දැක්ක ම ආස හිතෙනවා. කවුන්ටරේ පිටිපස්සේ ඉන්න අක්කට කිව්ව ම ඕනේ කරන දේවල් ටික දාලා බත් එක බෙදලා දෙනවා. හරි ම පිරිසිදු වගේ ම, පිළිවෙල ගතියක් මෙතැන දැකගන්න පුළුවන්.

කෑම

ප්‍රධාන වශයෙන් ම පැලේ බත් ජාති හතරයි. සුදු බත්, රතු බත්, ෆ්‍රයිඩ් රයිස් සහ නාසිගුරන්. ඔරිජිනල් නාසි නෙවෙයි කියලා දැක්ක ගමන් අඳුනගන්න පුළුවන් වුණත්, රතට රතේ දිලිසෙන ඒ බත් එකට තමයි මගේ හිත ගියේ. යාලුවා චිකන් රයිස් ඇන්ඩ් කරි (රු.160) එකක් ගත්ත අතරේ, මං ඕඩර් කළේ මේ නාසි (රු.230) එක.

පැලේ හැදෙන සුදු බත නියමයි. ගානට තැම්බිලා. මස්, මාළු හැරුණා ම, එළවලු වර්ග හතර පහක් ම මේකට ලැබෙනවා. පපඩම් කෑල්ලක්, මැල්ලුමක් මේ පිඟානේ වරදින්නේ නැහැ. චිකන් එකෙත් ලුණු ගොරකා හොඳ පදමට. මේකේ චිකන් හොද්ද නම් ගෑවුණු තැන කන්න හිතෙන ජාතියේ එකක්. ඒ තරම් රසයි. පරිප්පු කරියෙත් මිටිකිරි දාපු රස හොඳින් ම දැනුණා.

සෝයා මීට් කරිය මායි යාළුවයි කෑවේ තරගෙට වගේ. බණ්ඩක්කා බැදුමේ රස නියමෙට තේරුණේ ඕනෙවට වඩා නැති තෙල් ගතිය නිසා කියලයි අපේ හැඟීම නම්.

මං ගත්ත නාසි බත සෑහෙන්න ස්පයිසි. ලාවට රෝස්ට් කරපු තඩි කුකුල් අණ්ඩක් එක්කයි මේක ලැබුණේ. ඒකෙ හැබැයි තරමක් ලුණු මදි ගතියක් අපට දැනුණා. චොප්සිය නම් පංකාදු පහයි ඈ. නියම ගානට තැම්බුණු කැරට්, ගෝවාවලින් මේ බතට ආවේ සුපිරි රසක්. ඒ විතරක් නෙවෙයි බුල්සයි එකයි, තක්කාලි සලාදෙයි, සොසේජස් කරලයි, ළූණු බැදුමයි නිසා ගෙවන ගාණට මේ බත් පත කිසිම පාඩුවක් නැහැ.

සර්විස් එක

දවල් දොළහ, එක වගේ වෙද්දී නම් පැලේ සූ ගාලා සෙනඟ පිරෙනවා. මොකද කන්තෝරු කෑම පැයනේ. ඒ වෙලාවට නම් ඉතින් පොඩ්ඩක් වගේ පෝලිමේ හිටගෙන ඉන්න වෙයි. හැබැයි මහත්තයෝ “ඇවිද්ද පය දහස් වටී” කියලා කතාවක් තියෙනවනේ. ගෙදර හැදුවා වගේ හොඳ රස ඇති බත් පිඟානක රහ බලන්න, ඔය පොඩියක් හිටගෙන ඉන්න වුණාට කමක් නැහැනේ.

අවසාන වශයෙන්

කොළඹ රටේ රස්සාව කරන, යන එන අයට, අතේ තියෙන ගාණට හරියන විදියට, නියමෙට බඩ පිරෙන්න බත් එකක් කන්න පුළුවන් විදියේ තැනක් තමයි මේකත්. වෙලාවක් ලැබුණොත්, ඔයාලත් පැලට ගොඩවෙලා බලන්නකෝ. අපි කියන කතාව ඇත්ත වග හොඳ හැටි තේරේවි.


TIP

Try the chicken rice and curry.

Address

15, Ven. Muruththettuwe Ananda Himi Mawatha, Colombo

Directions

From Thimbirigasyaya color lights, turn onto Ven. . Muruththettuwe Ananda Himi Mawatha. It's just there on the left hand side.

Contacts

Website Facebook



Latest