3/5

Pela (Thimbirigasyaya)

15, Ven. Muruththettuwe Ananda Himi Mawatha, Colombo


A small buth kadey down Ven. Muruththettuwe Ananda Himi Mawatha.


මොන මොන කෑම ජාති තිබුණත් ලංකාවේ ගොඩක් අයට දවල්ට නම් ඉතිං බත් තමයි. තෝසේ, ඉඩ්ලි වගේ සයිවර් කෑම ඇරුණාම, සාමාන්‍ය පඩියක් ගන්න කෙනකුට මාසෙ පඩිය ඉවරකරගන්නෙ නැතුව දවස ගානෙ කන්න පුළුවන් කෑමකට තියෙන්නෙත් බත් විතරයි. පැල කියන්නෙ අන්න ඒ වගේ අඩු ගාණක් වියදම් කරලා, බඩ පිරෙන්න බත් වේලක් කන්න හොයන අයට හරියන තැනක්.

තැන

මේක පොඩි කඩයක්. හයිලෙවල් පාරෙන් ඇවිත් තිඹිරිගස්යාය හංදියෙන් හැරුණු ගමන් ම වම් පැත්තෙ තමයි තියෙන්නෙ. මේස දෙකතුනක් තිබුණට ටේක් අවේ තමයි වැඩිපුර යන්නෙ.

කෑම

මෙතන රයිස් ඇන්ඩ් කරි ගන්න පුළුවන් චිකන් හරි ෆිෂ් හරි එක්ක. ඊට අමතර ව බිරියානියි නාසිගුරනුයිත් තියෙනවා. මේ ඕන එකක් 150යි!රුපියල් 150ට දෙන බත් එකක මහ දේවල් බලාපොරොත්තු වෙන්න බෑනෙ ඉතිං. අල තෙල් දැමුමෙයි, පරිප්පුවෙයි කියන්න තරම් ලොකු අවුලක් නෑ. කංකුං එකත් ෂේප්. ඒත් කොස් මැල්ලුමේ නම් පොඩි සබං රහක් වගේ එකක් ආවා; ලුණුත් වැඩියි. බැදපු මාළුව නම් රසයි; හොඳට ලුණු ඇඹුල් අල්ලලා තිබුණා. 

හැම කරියක ම වගේ තුනපහ අනංමනංවලට වඩා ලුණුයි මිරිසුයිවලින් තමයි ගේම ගහලා තිබුණේ. හැබැයි ෂේප් එකේ කන්න පුළුවන්. ඒත් බත් ප්‍රමාණේ හැටියට කරි දාලා තිබුණේ ඉතිං ගාගෙන කන ගානට තමයි.

බිරියානි
 

බිරියානි එකෙයි නාසිගුරං එකෙයි බැලූබැල්මට ලොකු වෙනසක් නෑ වගේ ම තමයි, රසෙත් ලොකු බිරියානි ගතියක්වත් නාසිගුරං ගතියක්වත් නෑ. ඒත් ඉතිං නමට හරි බිරියානි එකක්, නාසිගුරං එකක් රු 150ට දෙන එක ම මදෑ.

නාසිගුරං
 

බිරියානි එකේ ළාවට මසාලා සුවඳක් වගේ තියෙනවා. නාසි එකෙත් ළා මිරිස් රහක් වගේ තියෙනවා. එකකින් කටක් කාලා ඊළගට අනිත් එකෙන් කටක් කන්න ඕන දෙකේ රස වෙනස තේරෙන්න නම්. හැබැයි ඉතිං කවුරුත් රු. 150ට ඔරිජිනල් ඉන්දියන් බිරියානිවත්, ඔරිජිනල් මැලේසියන් නාසිවත් බලාපොරොත්තු වෙන්නෙ නෑනේ. ඉතිං ලූනු සම්බෝලෙයි බුල්සයි එකයිත් එක්ක අනාගත්තම අර වගේ රස ගුණ ගැන වැඩිය නොහිතා බඩ පුරවගන්න හිතාගෙන කන කෙනෙකුට ෂේප් එකේ කාගන්න පුළුවන්.

අවසාන වශයෙන්

මීට අවුරුදු දෙකකට විතර කලින් අපේ විශ්වි මේ කඩේ රිවීව් කරද්දි මේක මීට වඩා හොඳට තිබිලා තියෙනවා. ඒ කාලෙ ඉස්සො, දැල්ලො, පෝක් එහෙමත් තිබ්බ කියල තමයි කියන්නෙ. හැබැයි දැන් වෙද්දි කෑමවල කොලිටිය වගේ ම ගාණත් අඩුවෙලා! (ගොඩක් තැන්වල කොලිටිය අඩු වුණාට සාමාන්‍යයෙන් ගණං අඩුවෙන්නෙ නෑනෙ)හැබැයි ඉතිං අතේ සතේ නැතුව එහෙ මෙහෙ කැරකෙන වෙලාවක බඩ පුරවගන්න, ෂේප් එකේ දිවට දැනෙන රහට කන්න මෙහෙම තැනක් තියෙන එකත් මදෑ. 


TIP

Try the chicken rice and curry.

Address

15, Ven. Muruththettuwe Ananda Himi Mawatha, Colombo

Directions

From Thimbirigasyaya color lights, turn onto Ven. . Muruththettuwe Ananda Himi Mawatha. It's just there on the left hand side.

Contacts

Website Facebook



Latest