3/5

Taphouse By RnR (Dutch Hospital)

Canal Row, Colombo 1


Taphouse is the replacement for the beloved Brewery By O! in Dutch Hospital. Everything is basically worse than it used to be but it's still a great location.


ඔන්න පුරුදු විදියට මං වැඩ ඇරිලා ගෙදර යනවා. දවල්ට ටිකක් කලින් කෑව නිසාදෝ මන්දා හරි ම බඩගිනියි. ඩච් හොස්පිටල් එකට පොඩ්ඩක් ගොඩවෙලා යන්න ඕනේ කියලා මට හිතුණේ ලංකා බැංකුවේ පිට්ටු බම්බුව පහුකරගෙන යද්දී. ඒ වුණාට තනියම යන්න මොකද්දෝ වාගේ. මෙන්න බොලේ ෆෝන් එක රින්ග් වෙනවා. දෙයියෝ බැලුවා වගේ අපේ එකෙක්ගෙන් මට කෝල් එකක්!

“අහ් ආලෝ!”

“එහ්, මේ හරියේද ඉන්නේ? යමිනින් ගමන් බියර් එකක් බීලා යංකො බං. මගේ ගාණේ!”

ඉතින් ඌට බියරුයි, මට කෑමයි දෙකම ගන්න පුළුවන් තැනකට තියෙන්නේ අපේ සුපුරුදු ටැප් හවුස් එකනේ. දෙන්නත් එක්ක කතාබහ කරගෙන අපි ඔතැනට සෙට් වෙද්දී හවස පහමාරට විතර ඇති.

තැන

අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ටැප් හවුස් කිව්ව ගමන් කට්ටිය ම දන්නවා මේක තියෙන්නේ කොටුවේ ඩච් හොස්පිටල් එකේ කියලා. බාර් එක ඇතුළේ ඉඳන් විතරක් නෙවෙයි, එළියේ තියෙන ගල් සිමෙන්ති, බංකු තියෙන ඒරියා එකටත් මේ කට්ටිය කෑම ගෙනල්ලා දෙනවා. ඇතුළේ තියෙන අඳුරු ගතිය අපට එච්චර ඇල්ලුවේ නැති නිසා, අපි හිතුවා එළියෙන් වාඩිවෙන්න. ඒ වෙලාවේ එතැන බෑන්ඩ් එකකුත් ලෑස්ති වෙනවා සින්දු කියන්න.

කෑම බීම

ටැප් හවුස් එකට ගොඩක් අය එන්නේ බියර් බොන්න. මොකද මෙතැන ලයන් බියර් වීදුරුවක් ගන්න වෙන්නේ රුපියල් 240ක් වගේ. තව කාල්ස්බර්ග්, ඔක්ටෝබර්ෆෙස්ට් වගේ බියර් වර්ගත් ටැප් හවුස් එකේ තියෙනවා. ඒ හැරුණා ම වයින්, විස්කි, රම්, ජින් වගේ ජාති කීපයකුත් ගන්න ඇහැකි. ඒ විතරක්යැ කොක්ටේල්, මොක්ටේල් එහෙමත් ගන්න පුළුවන්. ඔන්න ඔහේ ආව එකේ කොක්ටේල් එකකුත් බොනවා කියලා හිතාගත්ත මම, “රාස්ප්බෙරි ඩයික්විරි” (රු.570) සහ, “වූ වූ” (රු.795) කියන කොක්ටේල් දෙක ඕඩර් කළා. කෑම මෙනුවෙන් “ෆිෂ් ඇන්ඩ් චිප්ස්” (රු.750) එකකුයි, “හොට් චිකන් වින්ග්ස්” ලාජ් ප්ලේට් (රු.700) එකකුයි තෝරගත්තා.

මුලින් ම කියන්නම් කොක්ටේල් දෙක ගැන. රාස්ප්බෙරි ඩයික්විරි එක ගොඩක් රසයි. රම් රස හොඳට ආවා. රාස්ප්බෙරි රස අරගෙන තිබුණේ කෝඩියල් එකකින්. රම් එක්ක මික්ස් වෙලා එන ඇල්කොහොලික් පැණි රසට, දෙහි යුෂවලින් එන ඇඹුල් රසින් එන්නේ අමුතු කික් එකක්.

වූ වූ කියන්නේ ටැප් හවුස් මෙනුවට මේ ළඟකදී වගේ හඳුන්වලා දුන්නු කොක්ටේල් එකක්. හැබැයි මේකෙන් අපට කිසිම ඇල්කොහොල් රසක් ආවේ නැහැ. ඇඹුල්, පැණි රසවල් බැලන්ස් වෙච්ච ගතියක් තිබුණට මේක නිකන් මොක්ටේල් එකක් වගේ.

ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක නම් නියමයි. මේක මේ සමහර තැන්වල බොරුවට තඩි බැටර් එකක් තවරලා දෙන පුංචි මාළු කෑලි දෙකක් නෙවෙයි. ළාවට දාපු ක්‍රිස්පි බැටර් දවටනයක් දාපු තඩි මාළු පෙති දෙකක්. මේක ගත්තොත් මතක ඇතුව ඔය පැත්තකින් තියෙන දෙහි බෑයත් මිරිකලා දාගෙන කන්න හොඳේ. ඒකෙන් රස ඩබල් වෙනවා.

හොට් චිකන් වින්ග්ස් එකත් හොඳයි. මේක බාබෙකියු සෝස් හොඳට තවරලා හදපු එකක්. පිට පැත්තෙන් පොඩි ගනකම් ගතියක් තිබුණට ඇතුළෙන් හෙන සොෆ්ට්. ලාජ් ප්ලේට් එකට චිකන් වින්ග්ස් 12ක් ම ලැබෙන නිසා දෙන්නෙක්ට හොඳටෝ ම ඇති. ඕනේ නම් වින්ග්ස් 6 තියෙන පොඩි ප්ලේට් එක ගන්නත් පුළුවන්.

සර්විස් එක

අපි යද්දී නම් මෙතැන ලොකු සෙනඟක් හිටියේ නැහැ. ඒ නිසා සර්විස් එක හෙන ෆාස්ට්. හැබැයි රෑ වෙද්දී කට්ටිය පිරෙනකොට නම් සර්විස් එක ඒ හැටි හොඳ නැහැ කියලයි සමහරු කියන්නේ. අනේ මන්දා ඉතින්. අපට අවුලක් වුණේ නැහැ. අපේ මේසෙට සෙට් වුණු සේවක මිත්‍රයාගෙන් ලැබුණු සපෝර්ට් එක සෑහෙන්න අගය කරන්න ඕනේ.

අවසාන වශයෙන්

ටැක්ස් එකතු වෙලා එද්දී නම් රුපියල් 4000කට කිට්ටු ගාණක් අපට ගියා. ඉස්සර තරම් ලොකු වාසියක් නෑ වගේ. මොකද කොක්ටේල් දෙකයි, බයිට් දෙකයි විතරනේ ගත්තෙත්. හැබැයි ඉතින් කොටුව අවට වැඩ කරන කෙනෙක්ට, ඔෆිස් ඇරිලා යන ගමන් බියර් එකක් ගහලා යන්න හිතුණොත්, මේක හොඳ තැනක්.


TIP

The beer is cheap.

Address

Canal Row, Colombo 1

Directions

Taphouse is at the back of Dutch Hospital. To get to Dutch go past Galle Face Green, past the Kingsbury and turn right. Or take York Street and turn left past the Hilton.

Contacts

Facebook



Latest