4/5

TGI Friday's

Bank Of Ceylon Mawatha, Colombo 1


It's always Friday in here.


ටී.ජී.අයි.ෆ්‍රයිඩේස් (TGI Friday’s) කියන්නෙ ඇමරිකාවෙන් ආපු ආපනශාලා ජාලයක්. ඇමරිකාවේ මේක සැහැල්ලුවෙන් කන්න තැනක් වුනාට මෙහෙ නං ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන් මිල ගණන්වල හැටියට. පහුගිය දවසක මමයි අයිෂායි කොළඹ කොටුව පැත්තට ඇදුනේ ඒ පැත්තෙ කන බොන තැන් කිහිපයක් ගැන බලාගෙන එන්න හිතාගෙන. ඒව අතරින් ඔපේ වැඩිම තැන තමයි එතන ටී.ජී.අයි. ෆ්‍රයිඩේස් ශාඛාව.

තැන

පැරණි ගොඩනැගිල්ලක් පුනුරුත්ථාපනය කරල තමයි ආපනශාලාවට අරගෙන තියෙන්නෙ. පරණ ගෘහ නිර්මාණ කිසිදේකට හානි කරන්නේ නැතුව ඒවා ඔක්කොම හොඳට ඔප දමල අරං තියෙනවා. ලී පොළොව හොඳට දිලිසෙනවා. දෙවන තට්ටුවට යන ලී පඩිපෙළ බලන්න ආසයි. ගිහිං ඉන්න පුළුවන් කිසි අමාරුවක් නැතුව එක දෙයක් ඇරෙන්න. අපි පල්ලෙහා තට්ටුවේ වාඩි වෙච්ච වෙලාවේ ඉඳල පුටුවයි පොලවයි දෙදරනවා වෙව්ලනවා ඉවරයක් නෑ. මොකද කියල හොයාගන්නත් බැහැ. අනේ මන්ද. (පස්සෙ අපිට දැනගන්න ලැබුණා මේ පොලොව යට තියෙන ලොකු AC යන්ත්‍රය නිසා කියල.)

සේවය

මෙතන වැඩකරන අය නං හරිම හොඳයි. ඉතාම මිත්‍රශීලි සේවයක් කරනවා. අපිට ආරංචි හැටියට මුල් කාලේ මෙහෙ සේවකයින්ට පුහුණුවක් නැති තරම් වගේ තිබිල තියෙන්නෙ. දැන් නම් එහෙම කියන්න බැහැ. පට් පට් ගාල අපිට මේසයක් දීල, මෙනු දෙකක් අතට දීල කරදර නොකර යන්න ගියා අපි ඕඩර් කරනකං. කොච්චර මිත්‍රශීලි සේවයක් වුනත් කෑම ගෙන්න නම් විනාඩි විස්සක්, පැය භාගයක් විතර ගියා. දීල ගිය විසාල වතුර විදුරු ටික කෑම එනකං පොඩ්ඩ පොඩ්ඩ බීලම එපා වෙලා හිටියේ.

කෑම

මෙනු එකේ හුඟක් කෑම ජාති තියෙනවා එත් මස් මාංශ පැත්තට තමයි වැඩිය බර. එහෙං මෙහෙං සෞඛ්‍යට හිතකර වෙන දේවල් තිබුණට මෙතන වැඩිය මාංශභක්ෂක හිතකර පරිසරයක්. අපි මෙනුවෙන් කෑම කිහිපයක් ඇණවුම් කළා.

මස්ම කාල බැරි හින්ද අපි බැදපු මොට්සරේල්ලා ටිකක් ඕඩර් කළා. ලස්සනට කෑලි තුන තුන ගොඩවල් දෙකකට බෙදල, මැදින් පුංචි සෝස් භාජනයක් එක්ක එනකොට මාර සුවඳක් නං ආවා. එනකොට අපිට සැහෙන්න බඩගිනි වෙලා තිබ්බ හින්ද හොඳට කන්න බලාගෙන තමයි හිටියේ. අපි බලාපොරොත්තු වුනේ තරමක මොට්සරේල්ලා කූරක් බැටර් එකක දවටල බැදලා එයි කියල. ඒ වුනාට ආවේ පිටි පොකට් එකක ඇතුලේ චීස් පොඩ්ඩක් ගාලා බැදලා වගේ කෑමක්. ඇත්තම කිව්වොත් මේව කාගෙන කාගෙන යන්න පුළුවන් එත් ගෙවපු රු 600 හැටියට නං මදි කියල වගේ තමයි අපිට හිතුනෙ.

ඊට පස්සෙ තමයි අපේ ප්‍රධාන ආහාර වේල් ආවේ. අයිෂා පෙපර්කෝන් ස්ටේක් එකක් රු3300ට ගත්තා. මම රු 2310 අසොර්ටඩ් ග්රිල් එක ඕඩර් කළා. කිසිම ලෝබකමක් නැතුව ලොකුවට බෙදල තිබුන කියල නං පිඟන් දෙක දැක්කම පෙනුණා. ගානේ සැර හැටියට රසත් ඇති කියල හිතාගෙන අපි කෑමට බැස්ස.

පෙපර්කෝන් ස්ටේක් එක ඔයාලට කැමති ගානට උයාගන්න පුළුවන් කියල මෙනු එකේම තියෙනවා. ඉතින් අයිෂා “මීඩියම් රෙයාර්” ගානට ගෙන්න ගත්ත. ස්ටේක් එක හොඳට ඇවිල්ල තිබුණ කියල අයිෂා කිව්වා. වැඩිය වේලිච්ච ගතියක් නැතුව, හුඟක් රසට හදල තිබුණා. මස්වල රස නැති නොකර උයල තිබුණට අර කියපු පෙපර්කෝන් සැර නං පොඩ්ඩක්වත් ආවේ නැහැ. මස් කපන්නත් සෑහෙන්න මහන්සි වෙන්න වුණා. දුන්න පිහිය කෙසේවෙතත් කියතක් වගේ දුන්නනං වටිනවා කියල අපිට හිතුන. පැත්තෙන් ආපු බැදපු ලුනු ගෙඩිය මතක් වුනේ හුඟක් වෙලා ගියාට පස්සෙ. කාල බැලුවම නං ඒක ටිපි ටිප් රහයි. ඒ කොහොම වුනත් වැඩි කතාවක් නැතුව කාගෙන කාගෙන ගිය හින්ද අයිෂා ස්ටේක් එක ගැන සැටිස් කියල පෙනුණා.

මම අසොර්ටඩ් ග්රිල් එක ගත්තේ වැඩි කෑම ජාති ගානක් තියෙන නිසත්, දෙන්නත් එක්කම කන්න පුළුවන් කියල හිතලයි. එ්ත් ස්ටේක් එකේ ප්‍රමාණයේ හැටියට අයිෂාට වෙන මුකුත් කන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. ඉතින් මටම තනියම ඒක කන්න වුණා. මොනා කරන්නද ඉතින්. දේවකාරියටත් වැඩිය රාජකාරිය ලොකුයි නේ.

ග්‍රිල් එකේ චිකන්, පෝර්ක්, බීෆ් තුනම තිබුණා, මස් කෑලි වගේම සොසේජස් විදියටත්. සොසේජස් නං තුන් ජාතියකින් තිබුණත් කඩේ පැකට් කරපු සොසේජස්ම තමයි කියල මට හිතුනෙ. බීෆ් පැටී එකේ වරදක් කියන්න බැහැ. මස් හොඳට දාල තිබුණා. හැබැයි විශේෂයෙන් හොඳක් කියන්නත් බැහැ. බඩ පිරුණට රසේ නම් අමුතු ගුණයක් කියන්න නැහැ. චිකන් බ්‍රෙස්ට් එකෙත් එහෙමයි. හැබැයි ඒකෙ නං ටිකක් ගම්මිරිස් සැර තිබුණා. මේ ඔක්කොටම රහ වැටුනේ තිබිච්ච සෝස් එක දාල ගත්තමයි. තේරිච්ච විදියට නං ඒක සෝයි සෝස් වලට මී පැණි කලවම් කරලද මන්ද. පැණි රසත්, ඇඹුල් රසත් එකට ආවා. එකෙන් අර මස් වලට නියම රසක් දුන්නා.

හැබැයි මේ පිඟානේ වීරයා නම් අනිවාර්යයෙන් JD පෝර්ක් රිබ්ස් කෑල්ල තමයි. මේක මාරම රසයි. ලාවට ගම්මිරිස් සැරක් එක්ක පැණි රසයි, ලා ඇඹුල් රසයකුයි එන සෝස් එක කාවැදිච්ච මස කටුවෙන් ගැලවෙන්න ඇල්ලුවම ඇති. මේ ඔක්කොම වෙනුවට මේකෙන් පිඟානක් ගත්තනං වටිනවා කියල මට හිතුනා.

කොහොමහරි අන්තිමේ ඔක්කොම කොහොමහරි ඉවර කලයි කියමුකෝ. කාල මහන්සියට අපි බොන්න මොනවහරි බැලුවා. මෙතන කියන්න ඕනේ ටී.ජී.අයි. ෆ්‍රයිඩේස් එකේ සැර බිම ජාතිත් ගන්න පුළුවන්. ආරංචි හැටියට ඒවයේ ගාන නම් කෑමවල තරං වැඩිත් නැහැ. මමයි අයිෂයි දෙන්නම අමද්‍යප නිසත්, බාර් එක හවස 2-5ත් අතර වහල හින්දත් අපි රු. 485 කට ගත්තේ ස්ට්‍රෝබෙරි ලෙමනේඩ් එකක්. මේක සැහැල්ලුයි, සිසිලයි. දෙන්නෙකුට එකක් බොන්න පුළුවන්.

අපි නිව්යෝක් චීස්කේක් කෑල්ලකුත් ගත්තා. පස්සෙයි දන්නේ එක රු. 1080 ක් කියල. අපි කාපු චීස්ම චීස්කේක් එක තමයි මේක. හොර වැඩ කරලා නැහැ. නියම චිස්ම දාල තියෙනවා. පොඩි කැරමල් රසයකුත් දිවට දැනුනා. හොඳ ස්ට්‍රෝබෙරි සෝස් එකකුත් කේක් කෑල්ල එක්ක එවල තිබුණා.

අවසාන වශයෙන්

මේ ඔක්කොටම අන්තිමේ බිල රු. 10,000 විතර වුණා. ඒ දෙන්නෙකුට විතරක්.  කෑම හොඳ බව ඇත්ත, ඒ වුනාට එච්චර හොඳද කියන එක ප්‍රශ්නයක්. මොකද මෙතන විශේෂයි කියල කියන්න දෙකට තිබුනේ රිබ්ස් එක විතරයි. අනික්වා කාල අමතක වෙන ගානයි. මේ වගේ ගානකට අමතක වෙන්නැති කෑමක් කන්න පුළුවන් තැන් කොළඹ තියෙනකොට මේක සාධාරණීයකරණය කරන්න ටිකක් අමාරුයි. අපි ගිය වෙලාවෙ නං සෙනග හිටිය නිසා මෙහෙම කන්න කැමති අයත් ඕන තරං ඉන්නව කියල පේනවා. ටිකක් අතමිට සරු වෙලාවක මේ පැත්තෙ ඇවිල්ල මස් කන්න බඩගින්නක් ආවොත් මෙතනට ගිහිං රස බලන්න.


TIP

Try the Jack Daniels Ribs if you have money to splurge and a hankering for good pork. Also, tell them its your birthday if you want a sing song and don't mind a bit of attention.

Address

Bank Of Ceylon Mawatha, Colombo 1

Directions

It's next to Dutch Hospital and across from the World Trade Center. Continue on Galle Road till it basically ends and head towards the largest buildings. You can also access from York Street via Slave Island. There's a parking lot round back.

Contacts

Facebook

Closed right now

Cuisine

Western American

Price Range

More than Rs.1500

Dish Types

Steak Chicken

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4


Latest