4/5

The Cauldron

68 Stratford Avenue, Colombo 6


A coffee shop with an affordable and tasty take on Sri Lankan classics, and a nice location.


කොළඹ තියෙන කෝපි කඩ, එහෙමත් නැත්තන් කැෆේ ප්‍රමාණය දවසින් දවස ඉහළ යනවා. හැබැයි කොච්චර කැෆේ තිබුණත්, ඒ වැඩේ හරියට කරන අය ඉන්නේ බොහොම ටික දෙනයි. මොකද ඔය කැෆේ හුඟක් ඒවයේ කෝපිවලට වඩා මුල් තැන දීලා තියෙන්නේ කෑමවලට. ඒ නිසා මේ ගොඩක් තැන්වල කෝපි කටේ තියන්න බැහැ.

හැබැයි කෝපියි කෑමයි දෙකම එක වගේ රසට දෙන කැෆේ කීපයකුත් මෙහෙ තියෙනවා. අන්න එහෙම තැනක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේකේ නම “ද කෝල්ඩ්‍රන්”.

තැන

අපි මේ කියන ද කෝල්ඩ්‍රන් එක තියෙන්නේ කිරුලපන ස්ට්‍රැට්ෆර්ඩ් ඇවෙනියු එකේ. ඔය ගාන්ධාර, ෂකාස් වගේ කඩවල් සේරම පහු කරගෙන ඉස්සරහට යනකොට පාරේ දකුණු අත පැත්තෙන් තමයි මේක මුණගැහෙන්නේ.

මේ කැෆේ එක සෑහෙන්න ඉඩකඩ ඇතුව හදපු එකක්. හරි ම නිස්කලංක ගතියක් තියෙනවා. පෙනුමෙනුත් හරි හැඩයි. තැඹිලි පාටට ගඩොල් ඔබ්බවපු බිත්තිවලිනුයි, උසට හදපු ජනෙල්වලිනුයි හරි ම වින්ටේජ් ගතියක් මෙතැනට ඇවිල්ලා තියෙනවා.

කෑම බීම

සාමාන්‍ය කැෆේ එකක තියෙනවා වගේ තේ, කෝපි වගේ බීමත් එක්ක, වොෆල්, බ්‍රෙක්ෆස්ට් කෑම, පැස්ටා, සැන්විච්, කොත්තු, කේක් වගේ කෑම වර්ග තොගයක් ම මෙතැනින් ගන්න ඇහැකි. අපි ඔය අතරින් බීම විදියට ඕඩර් කළේ “අයිරිෂ් කැපුචිනෝ” (රු.480) එකකුයි, “හොට් චොකලට්” (රු.550) එකකුයි. කෑමට ගත්තේ “වොෆල්ස් විත් ස්ට්‍රෝබෙරි ඇන්ඩ් ක්‍රීම්” (රු.430) සහ “හැම් ඇන්ඩ් චීස් මැකරෝනි” (රු.600) එකක්.

ෂහ්! ඇත්තමයි කෝල්ඩ්‍රන් එකේ කෝපි නම් හරි ම රසයි. අපි ගත්ත කැපුචිනෝ එක හොඳ උකුවට තිබුණා. තදට එන කෝපි රසට, අයිරිෂ් ක්‍රීම් රසත් එක්කාසු වෙනකොට තවත් මරු. සීනි නොදැම්මත් මේක රස කරකර බොන්න පුළුවන්.

මෙච්චර කාලයක් බිව්ව හොට් චොකලට් මොනවද කියලා හිතුණේ කෝල්ඩ්‍රන් එකෙන් අපි බිව්ව හොට් චොකලට් එකේ පළමුවෙනි උගුරෙන්මයි. කැඩ්බරි චොකලට්වල රස මේකෙන් උතුරනවා. කිරි රසයි, චොකලට් රසයි නියම ගානට බැලන්ස් වෙලා. ඒ විතරක්යැ, මෙන්න මේකේ මාශ්මෙලෝස්නුත් තියෙනවා. අපි මේ තාක් කල් බීලා තියෙන හොට් චොකලට් අතරින්, මාශ්මෙලෝස් තිබුණු එක ම හොට් චොකලට් එක මේක. සිරාවට මේකෙන් නම් කෝප්ප පහක් හයක් වුණත් බොන්න පුළුවන් තරමට රසයි.

කෝල්ඩ්‍රන් එකේදී අපි ගත්ත වොෆල් එකත් හුඟක් රසයි. ප්‍රසන්ටේෂන් එකත් හරි ම හැඩයි. වොෆල් එක නියම ෆ්ලෆී ගතියට තිබුණා. උඩ පැත්තෙන් ලාවට ක්‍රිස්පි. විපින්ග් ක්‍රීම් එකයි, ස්ට්‍රෝබෙරි පෙත්තකුයි, චොකලට් සෝස් ඩිංගකුයි එකතුවෙලා හැපෙනකොට නියමයි.

අපේ පැස්ටා එකත් සුපිරි. සාමාන්‍යයෙන් මේක හදන්නේ Penne පැස්ටාවලින්ලු. ඒ වුණාට එදා Penne පැස්ටා ඉවර වෙලා නිසා Linguine පැස්ටා දාලා තමයි මේක හදලා තිබුණේ. කොහොම වුණත් මේක චීසි විදියට පැස්ටා කන්න කැමති උදවියට කියාපු කෑමක්. ඇයි අප්පේ! චීස් රස වෑහෙනවනේ. ඔලිව් ඔයිලුත් හරි ම ගානට දාලා තමයි මේක හදලා තිබුණේ. මදි නොකියන්න හැම් කෑලිත් එකතු කරලා. කාටද ඉතින් මේක නොකා ඉන්න පුළුවන්!

ඩෙසර්ට් එක විදියට අපි "ග්‍රැනි’ස් චොකලට් කේක්" (රු.380) කෑල්ලක් ගත්තා. මේක ගැන නම් අපේ ඒ හැටි මනාපයක් නැහැ. මොකද චොකලට් රස හරියට දැනුණේ වටේ තිබුණු චොකලට් තට්ටුවෙන් විතරයි. කේක් එකේ ටෙක්ස්චර් එක ගොඩක් තද ගතියයි. එයරි ගතියත් අඩුයි. ඒ නිසා කන්නත් අමාරුයි.

සර්විස් එක

මුලින් ම කරන්න ඕනේ කවුන්ටරේට ගිහින් ඕනේ කරන කෑම ජාති ටික කියලා බිලක් දාගන්න එක. ඊටපස්සේ කෑම බීම සේරම ටික ස්ටාෆ් එකේ අය මේසෙට ම ගෙනල්ලා දෙනවා. කෝල්ඩ්‍රන් එකේ වැඩට ඉන්න අය බොහොම සුහදශීලියි. ඒ වගේ ම කඩියෝ වගේ වැඩ. අපේ කෑම බීම සේරම මේසෙට එන්න ගත වුණේ විනාඩි 15කටත් වඩා අඩු කාලයක්.

අවසාන වශයෙන්

කෑම බීමවල රසයි, ගණනුයි එක්ක සලකලා බැලුවා ම, ද කෝල්ඩ්‍රන් කියන්නේ කොෆී ඩේට් එකක් වගේ යන්න හොඳ ම තැනක්. ඒ විතරක් නෙවෙයි, ලැප්ටොප් එකක් එහෙම ගහගෙන තමන්ගේ පාඩුවේ වැඩ කරගන්න, පොතක් පතක් කියවන ගමන් කෝපි උගුරක් තොල ගාන්න මේක කියාපු තැන.


TIP

There's a smoking area, but don't smoke.

Address

68 Stratford Avenue, Colombo 6

Directions

From High Level Road, turn down Stratford. It's past Gandhara and Shakasz. You can park on Stratford Terrace, but it's better to take a cab here.

Contacts

Facebook Website

Open until 10:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice Kottu Cakes Coffee Bites Roti

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3


Latest