The Chaat Kade

78B, W.A Silva Mawatha, Colombo 06.


An Indian streetfood joint with ridiculously reasonable prices.


ඉන්දියාවට ගිහින් චාට් කැවෙ නැත්නම් වැඩක් නෑ. චාට් හෙවත් ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් කියන්නෙ ඒ තරමට ජනප්‍රිය (සහ රස) කෑමක්. ලංකාවෙ දි ඔරිජිනල් ඉන්දියන් චාට් කන්න පුළුවන් තැනකට අපි මෙච්චර කල් දැනගෙන හිටියේ ඉන්දියන් චාට් කෝනර් එක විතරයි. ඒත් දැන් කොළඹට තවත් චාට් කඩයක් ඇවිත්!

තැන

වැල්ලවත්ත හංදියෙන් පාමංකඩ පැත්තට යන ඩබ්. ඒ. සිල්වා මාවතේ තමයි මේක තියෙන්නෙ. හැරෙන්නවත් ඉඩ නැති පොඩි කඩයක්. කොහොමත් එහෙමනේ ඉතිං චාට් කඩ.

සර්විස් එක

කඩේ පොඩි වුණාට ලොකු අවුලක් නෑ, පාරෙ අයිනෙ හරි එහෙම නැත්නම් වාහනේ ඇතුලෙ ඉඳගෙන ම හරි කන්න පුළුවන්. කඩේ වැඩකරන කට්ටියත් හරිම කඩිසරයි, සෑහෙන සෙනගක් හිටියත් අපිට ටක් ගාලා කෑම ටික ලැබුණා.

කෑම

එවෙලම කද්දි තමයි චාට් ගොඩක් රස. ඉන්දියාවෙ නම් පානිපූරි කනව කියන්නෙ පොඩි තරගයක් වගේ, පානි පූරි එකින් එක පුරවලා දෙද්දි ඒක අරන් කෙලින්ම කටේ දාගන්න ඕන. ඒත් අපේ සෙට් එකේ හිටපු සෙනග ටිකක් වැඩි නිසා අපේ කට්ටියට ඕන වුණා ටිකක් ඉඩකඩ තියෙන තැනකට අරන් ගිහින් කන්න. ඉතිං දාහි පූරි එකයි මසාල චායි (රු. 50) එකයි විතරක් එතනදි ම කාපු අපි අනිත් කෑම ටිකත් ඔතාගෙන මෙරයින් ඩ්‍රයිව් එක පැත්තට ගියා.

මසාලා චායි කියන්නෙ කිරි අඩුවෙන් දාපු ඉඟුරු කිරි තේ වගේ එකක්. මේකට මසාලා හෙවත් ස්පයිස් ජාති ගොඩක් දැම්මත් ඉඟුරු රහ තමයි වැඩිපුර ආවේ. දාහි පූරි (රු. 200) එකත් රස දහයක් විතර එකතුවෙලානෙ එන්නෙ. සියඹලා සෝස්, මුදවපු කිරි, සෙව් එක්ක කොත්තමල්ලි කොලේකුත් වැටිලා එද්දි කාගෙන කාගෙන යන්න පුළුවන් (මට නම් එකයි කන්න පුළුවන් වුණේ. ඒක කාලා බලද්දි පිඟාන හිස්!).

අපට පානි පූරි (රු. 180) එක අරන් යන්න ඕන කීව නිසා පානි (හෙවත් රස කරපු වතුර) ටික වෙන ම භාජනේක දාලා දීලා තිබුණා. මේකත් දාහි පූරි එකේ රසට කිට්ටුයි, ඒත් මුදවපු කිරි වෙනුවට පානිවලින් එන රස එකතු වෙනවා.

පානි පූරි, දාහි පූරි දෙකට පස්සෙ මම කැමති ම භෙල් පූරිවලට (රු. 200). මේකෙත් රස කලින් දෙකට ටිකක් කිට්ටුයි. අලයි, සෙවුයි ඔක්කොම මසාලා රසට එකතුවෙලා එද්දි මාර රසයි.

ඊළගට අපි ගත්ත මස් ජාති ඔක්කොම වගේ එන්නෙ පරාටා, පාන් වගේ එකකුත් එක්ක. මේවයින් වැඩි හරියක් එනවා අර වළඳ අඩිය අල්ලපුවම එන රස වගේ එකක්. ඒ රසත් එක්ක එකඑක ජාතිවල මසාලා එකතුවෙලා එද්දි අමුතු ගතියක් තියෙනවා.

කේරල චිකන් කරි (රු. 150) එක ලංකාවෙ විදියට කියනව නම් හොඳට ලුණු ඇඹුල් දාලා හදල තියෙන්නෙ. මේකේ ගාගත්තත් ඇති පරාටා කන්න.

බීප් චුක්කා (රු. 200) එකත් එන්නෙ කේරලෙන්. කේරලෙන් එන කොයි දේත් වගේ (සංස්කාරක සටහන: ශ්ලේෂෝක්ති චේචිතයි ;) ) මේකත් මාර රසයි. උයලා, බැදලා අබ, ඉඟුරු, සුදුළූණු එහෙම දාලා හලපු මේකෙ පොඩි ක්‍රීමි ගතියකුත් තියෙනවා.

කීමා පව් (රු. 240) එකත් එක්ක ටෝස්ට් කරපු පාන් කෑල්ල නම් අපි කද්ද හොඳටම පොඟලා, මේකේ තියෙන හොදි ගතියට. ඒ නිසා මේක ගන්නවනම් ඒ වෙලාවෙම කන එක තමයි හොඳ. මේකෙත් පොඩි අඩිය අල්ලපු රසක් තිබුණට මොකද පාන්, පරාටාත් එක්ක මරු.

බටර්මිල්ක් චිකන් ඩ්‍රම්ස්ටික් (රු. 150) එකත් හොඳට මැරිනේට් කරල හදලා තියෙනවා. උඩින් දාලා තියෙන ලූණු කෑලි ටිකයි කොත්තමල්ල කොළයි එකතුවෙලා එද්දි මාර රසයි.

අතුරුපසට ගත්ත රසමලායි එකේ කිරි රසයි, පැණිරසයි එක්ක පොඩි රෝස්සිරප් රසකුත් තියෙනවා. මේකට කලින් කාපු කෑමවල කටදන මසාලා රස ඔක්කොම කැපිලා යනවා.

අවසාන වශයෙන්

ලාබෙට රසට ඔරිජිනල් ඉන්දියන් චාට් කන්න ඕන නම්, චාට් කඩේ ඒකට මරු.

 

Address

78B, W.A Silva Mawatha, Colombo 06.

Directions

It's sandwiched next to a motor repair store and a small road-side food joint towards the Galle Road end of W.A Silva Mawatha.

Contacts

Facebook

Closed right now

Cuisine

Indian Street Food

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Parata



Latest