Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

The Garrison Coffee House

229/1A Kadawatha Rd, Dehiwala-Mount Lavinia


A cafe tucked in Dehiwala that does some pretty good Spicy Cheese Fries but a not-so-great iced coffee.



‘ද ගැරිසන් කොෆී හවුස්’ එක හොයාගෙන දෙහිවල කඩවත පාරෙ ගිය අපිට තැන හොයාගන්න ටිකක් වෙලා ගත වුණා. මොකද කිව්වොත් මේක තියෙන්නෙ පොඩ්ඩක් පාරෙන් ඇතුළට වෙන්න හැංගිලා. කොහොම වුණත් එතන ගෙවපු හැන්දෑව ගැනයි මේ කියන්න යන්නෙ... 

තැන

මෙතනට ඇතුල් වෙද්දි ම පේන්නේ ලස්සන අවුට්ඩෝ සීටිං ඇරේන්ජ්මන්ට් එක. මිදුල පුරා ම තැන් තැන්වල ලස්සනට අතුරලා තියන පුටු මේසවල අපි ගිය වෙලාවෙ වැඩිය කවුරුත් හිටියෙ නෑ. දවල්ට නම් එතෙන්ට අව්වෙන් බාධා වෙනව ඇති. කොහොම හරි ඇතුළට ගිහින් කෑමබීම ඕඩර් කරන්න ලෑස්ති වෙද්දියි කෙනෙක් කිව්වෙ උඩ තට්ටුවෙ බැල්කනි එකෙත් සිටිං ඒරියා එකක් තියනව කියල. දෙපාරක් නොහිතා ම අපි ගියා උඩට. එතන පූල් ටේබල් එකකුත් එක්ක තැන් තැන්වල පුංචි මේස බංකු ඇරේන්ජ් කරපු ලොකු බැල්කනි එකක්.

පේන විදිහට නං රිලැක්ස් වෙන්න හොඳ තැනක්. ඕන නං ශීෂා එහෙමත් මිලට ගන්න තියනවා. ඉතිං මෙතන වටපිටාවට නං අපි සෑහෙන කැමතියි.

කෑම

මේගොල්ලන්ගෙ මෙනු එක බර වෙස්ටර්න් පැත්තට තමයි. ඒගොල්ලන්ගෙ ම රෙකමදාරුව පිට අපි ඕඩර් කළේ පෙනේ ඇරබියාටා එකයි (රු. 700) ස්පයිසි චීස් ෆ්‍රයිස් එකයි (රු. 550).

පැස්ටා එක හොඳට හදලා ටුමැටෝ සෝස් ගොඩක දවටලා මිරිස් කෑලි මිංචි කොළ එහෙම ඉහල තිබුණ නිසා නරක නෑ. හැබැයි ඇරබියාටා ගතියක් නං මේ ඩිෂ් එකෙන් දකින්න ලැබුණේ නෑ. ඒ වගේ ම බිල් එකේ චිකන් ඇරබියාටා විදිහටයි මේක නම් කරල තිබුණෙ. ඒත් එක චිකන් කෑල්ලක් වත් අපිට අහු වුණේ නං නෑ.

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උඩින් චිකන් මිශ්‍ර ගන චීස් ලේයර් එකක් අතුරපු ස්පයිසි චීස් ෆ්‍රයිස් එකට නං පැස්ටා එකට වඩා අපේ හිත ගියා. මොකද ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික රන්වන් පාටට හොඳට ෆ්‍රයි වෙලා තිබුණ වගේ ම, අපරාදෙ කියන්න බෑ චීස් එහෙම මදි නොකියන්න ලෝබ නැතුව දාල නිසා සෑහෙන ක්‍රීමි ගතියක් තිබුණා. සැර මදි කියල හිතුණත් අපි ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ. 

බීම

කොෆී හවුස් එකකට ගිහින් කෝපි නොබී කොහොමද කියල හිතල අයිස් කෝපි ඕඩර් කරපු අපිට අපොයි කියල හිතුණෙ අයිස් කෝපි එක තොල ගාල බැලුවට පස්සෙයි. අයිස් කෝපි එක හොඳට ම දිය රහයි. ඒ මදිවට කූල් කරලත් නෑ. හරිශ්චන්ද්‍ර කෝපිවලින් හදල වෙන්න ඕන කියලයි අපිට හිතුණෙ. හැබැයි හරියට හැදුව නං හරිශ්චන්ද්‍ර කෝපි වුණත් රහයි නෙ. ඉතිං කොහොම හරි කෝපි එක නිසා මෙයාලගෙ ලකුණු කැපුණා කියල කනගාටුවෙන් වුණත් කියන්න වෙනව!

අපි ගත්ත අනික් ඩ්‍රින්ක් එක ස්ට්‍රෝබෙරි මොහිටෝ එකක්. (රු. 350) දෙයියනේ කියල ඒක නං සෑහෙන රසයි. මහන්සි නිවිලා ටක්ගාල රිෆ්‍රෙෂ් වෙන සුලුයි! ස්ට්‍රෝබෙරි සිරප්, දෙහි, මිංචි කොළවලින් පැණි රස, ඇඹුල් රස, මින්ට් රස හරි හරියට කලවම් වෙලා ආපු මේක කූල් ම කූල්. ආවෙ ලොකු ජා එකක හින්ද පෝෂන් එකත් හුඟක් ලොකුයි.

සර්විස් එක

කෑම ටික ගේන්න විනාඩි 30ක් විතර ගිය එක ඇරෙන්න වෙන වරදක් නෑ සර්විස් එකේ. සාමාන්‍ය සුහද සේවාවක් ලැබුණා.

අවසාන වශයෙන්

දෙහිවල පැත්තෙ යන එන වෙලාවක රිලැක්ස් වෙන්න හිතුණොත් යන්න පුළුවන් ලස්සන තැනක් විදිහට ගැරිසන් කොෆී හවුස් එක නම් කරන්න පුළුවන්. ඊළඟ පාර අපි මෙතනට යද්දි කෑමබීම අතින් තව චුට්ටක් ඒගොල්ලො දියුණු වෙලා ඉඳියි කියල අපි හිතනවා...


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment