4/5

Tsing Tao (Colombo Racecourse)

Race Course Promenade, Reid Avenue, Colombo 7


Tsing Tao is a fine dinning Chinese restaurant that strikes a good a balance between authentic and Sri Lankanized Chinese, in a chic and elegant setting.


"චයිනීස් කෑම නම් කොහෙත් එකයි බං"  

යාළුවා කිව්ව කතාවට මට බකස් ගාලා හිනා ගියේ ඉබේටම. චයිනීස් කියලා නා නා විධ විදියට බෝඩ් ගහලා තිබුණත්, ඒ ගොඩක් තැන්වලින් අපට කන්න ලැබෙන්නේ ඔරිජිනල් චයිනීස් කෑම නෙවෙයිනේ. හුඟක් වෙලාවට ඕවයේ තියෙන්නේ ලංකාවේ විදියට හැඩ ගැහුණු චයිනීස් කෑම. හැබැයි ඔරිජිනල් චයිනීස් කෑම කාපු මනුස්සයා තමයි ඒකෙ නියම රස දන්නේ. ඉතින් "චයිනීස් කෑම කොහෙත් එකයි" කියලා හිතාගෙන ඉඳපු මගේ යාළුවත් ඇදගෙන මං ලඟදි දවසක ගොඩ වුණේ කොළඹ හතේ ට්සින් ටාඕ එකට.

තැන

රෝයල් කොලේජ් එක ඉස්සරහපිට, රේස් කෝර්ස් බිල්ඩිමේ උඩ තට්ටුවේ පිහිටලා තියෙන ට්සින් ටාඕ එක චයිනීස් කෑමවලට ප්‍රිය කරන අය අතරේ හුඟක් ප්‍රසිද්ධයි. හරිම සුවපහසු වටපිටාවක් මෙතන තියෙනවා. ලොකු කුෂන් පුටු එක්ක, හරිම ආඩම්බර ගතියක් පෙනෙන පරිසරයක් තමයි මෙතන දකින්න තියෙන්නේ. වැඩි සද්ද බද්ද එහෙමත් නැති තැනක් නිසා, කට්ටියත් එක්ක නිදහසේ කෑම වේලක් ගන්න යන්න හොඳ අවන්හලක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්.

කෑම බීම

අපි ට්සින් ටාඕ අවන්හලට ගොඩ වැදුණේ සති අන්තෙක, දවල් වරුවක. ඉරිදා දවසක් වුණු නිසාදෝ හෝ ටිකක් සෙනඟ වැඩියි. කෑම, බීම, අතුරුපසවලට වෙන වෙනම සකස් කරපු තඩි මෙනු පොත් තුනක් මෙතැන තියෙනවා. ඉතින් නා නා විධ කෑම බීම ජාතිත් බොහෝමයි ඒවයේ. ඒ නිසා වරුවක් තිස්සේ දෙන්නත් එක්ක වාද කරලා තමයි අපි ගන්නේ මොනවද කියලා තීරණය කරගත්තේ.

අපි ස්ටාටර් එක විදියට තෝරගත්තේ Golden Fried Cuttlefish (රු.1348). ලොකු දැල්ලෝ වළලු, පිටි වගේ දෙකින් හදපු දවටනයක තවරලා රත්තරන් පාටට හැරෙනකන් බැදලා හදපු කෑමක් මේක. ලාවට කරස් සද්දෙකුත් එක්ක හැපෙන මේ දැල්ලෝ වළලු ටික කටට දෙකට කන්න තමයි අපේ නං ලෑස්තිය තිබුණේ. හැබැයි එවෙලේම හදලා වගේ හොඳටම උණුවෙන් පිළිගැන්වුණු නිසා ඒ සෙල්ලම් දාන්න ලැබුණේ නැහැ අපි දෙන්නට.

අහ්! කියන්න අමතක වුණානේ. පංකාදු සෝස් එකකුත් ලැබුණා අපට මේක කන්න. උණුම උණු දැල්ලෝ වළලුවලට මේ සෝස් ටිකක් ගෑවුණාම එන්නේ කොහොමවත් බැහැයි කියන්න බැරි රසක්.

ලංකාවේ අපි ඉතින් තුන්වේලටම බත් ගිලින්න පුරුදු වුණු උන්දැලානේ. ඒ නිසා මෙතැනට ඇවිල්ලත් අපි ගත්තේ බත් එකක් (ජම්මෙට වඩා පුරුද්දත් ලොකුයි කියනවනේ). අපි ඕඩර් කරපු Spicy fried rice with chicken (රු.898) එකේ පෙනුම සාමාන්‍ය චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ. වෙන විශේෂයක් කියන්න නැතත්, නමේ තියෙන විදියටම ස්පයිසි රස හොඳටම දැනුණා අපට. ඉතින් මේ බත් එකත් එක්ක කන්න අපි තෝරාගත්තේ Shredded Pork with Spicy Garlic Sauce (රු.1148) කරි එකකුයි, Stir fried chicken with mushroom in oyster sauce (රු.1098) කරි එකකුයි.

තරමක් හීනියට කපපු පෝක් තීරු, සුදුළූණු සෝස්වල තවරලා හදපු මේ පෝක් කරි එක නම් මරු. සුදුළූණු සෝස්වල තිබුණු ස්පයිසි ගතියත් මේකට හොඳ ගානට එකතුවෙලා තිබුණා. පෝක් කියන්නේ කොහොමත් තෙල් පැත්තට බර කෑමක් වුණත්, මේ පෝක් කරියේ තෙල් ගතිය පොඩ්ඩක් විතර ඕනෙවට වැඩියි. ඒක නිසා ගොඩක් කන්න අමාරුයි. හීනියට ලියපු රාබු තීරුවලින් වගේම, පැත්තකින් තියලා තිබුණු බීට්රූට් මලෙන් මේකට පොඩි ඔපයකුත් ඇවිත් තිබුණා.

අපි ගත්ත චිකන් කරි එකේ රස ආයේ කතා දෙකක් නැහැ සුපිරි. චිකන් එක මුලින්ම හැපෙද්දී එන්නේ සීෆුඩ් රසක්. මොකද ඔයිස්ටර් සෝස්වල දවටලානේ තියෙන්නේ. රන්වන් පාටට බැදුණු මේ චිකන් කෑලිවල මතුපිට පොඩි ගනකම් ගතියක් තිබුණා. මේකට මිශ්‍රවෙලා තිබුණු මෂ්රූම්වලිනුත් ආවේ ඒ වගේම හොඳ රසක්. මේ තියෙන්නේ ඔයාලට හැමදාම, කොහෙදිත් හම්බවෙන චිකන් කරියක් නෙවෙයි කියන එක අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. දිව්‍යලෝක රසත් පරාදයි මේකට. අපි බත් එකේ වැඩි හරියකට වග කිව්වේ මේ චිකන් කරියත් එක්ක.

ඩෙසට් එක විදියට චොකලට් රස දෙයක් තෝරාගන්නයි අපට ඕනේ වෙලා තිබුණේ. වේටර් අයියත් රෙකමදාරුවක් දුන්න නිසා  අපි තෝරාගත්තේ Black Beauty (රු.590) එකක්. චොකලට් කිව්වොත් ගෑවුණු තැන කන්න ලෑස්තිවෙලා ඉන්න අපේ අය මේක නම් කන්නම ඕනේ.

චීස් කේක් එකකට වඩා ගනකම ගතියක් තියෙන, බොහොම තද ඩාර්ක් චොකලට් රසක් ඇති ඩෙසට් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. උඩින් චොකලට් සෝස් වත්කරලා, සීනිත් අඩුවෙන් තිබුණු නිසා, ඔරිජිනල් විදියටම චොකලට් රස අපට මේ අතුරුපසෙන් දැනුණා. චොකලට් සිරප් වල පොඟවපු චෙරි ගෙඩි දෙකකුත්, විපින් ක්‍රීම් ටිකකුත් දාලා තමයි මේක අපට පිළිගැන්වුනේ.

සර්විස් එක

ට්සින් ටාඕ එකේ සර්විස් එක ගැන කියන්න තියෙන්නේ "පතෝල වගේ" කියලා තමයි. ඒකෙ කියන්න තරං හොඳකුත් නැහැ, වරදකුත් නැහැ. විනාඩි 15ක් 20ක් බලන් ඉන්න වෙයි කියලා කිව්වත්, එච්චර වෙලා ඉන්න වුණේ නැහැ අපට. හැබැයි ඉතින් අපි ආව එක කරදරයක් වගේ නොහිත, පොඩ්ඩක් හිනාවෙලා කරලා ඕඩර් ගන්නවා නම් තමයි ඉතින් අපි වුණත් කැමති.

අවසාන වශයෙන්

කලින් කිව්වා වගේම, ඔරිජිනල් චයිනීස් රස බලන්න ඕනේ අය යන්නම තැනක් තමයි ට්සින් ටාඕ එක. කෑම බීම, අතුරුපස පැත්තෙන් ගත්තොත්, අපේ අත්දැකීම බොහොම ප්‍රශංසනීයයි. මෙතන වටපිටාවෙත් ගොඩක් හොඳයි. පොඩි කොස්සකට වගේ තිබුනේ සර්විස් එක තමයි. කෑම ටික ඉක්මණට ලැබුණු නිසා ඉතින් එකට ලොකු වරදක් කියන්නත් බැහැ. ඒ නිසා සමස්තයක් විදියට ගත්තම, අපි දෙන්නගේ ට්සින් ටාඕ අත්දැකීම හොඳ බව කියන්න පුළුවන්. හැබැයි ගණන් හිලව් පොඩ්ඩක් විතර වැඩි නිසා, සල්ලි අතේ ගැවසෙන වෙලාවක යන්න පුළුවන් තමයි වඩාත්ම හොඳ.


TIP

If you like intense flavours, try the dishes that come with sauces.
All Reviews

Tsing Tao is a fine dinning Chinese restaurant that strikes a good a balance between authentic and Sri Lankanized Chinese, in a chic and elegant setting.

Tsing Tao is a relatively new fine dining Chinese restaurant located at the Colombo Racecourse. It's expensive, but the food is worth it.

චයිනීස් කියලා නා නා විධ විදියට බෝඩ් ගහලා තිබුණත්, ඒ ගොඩක් තැන්වලින් අපට කන්න ලැබෙන්නේ ඔරිජිනල් චයිනීස් කෑම නෙවෙයිනේ. හුඟක් වෙලාවට ඕවයේ තියෙන්නේ ලංකාවේ විදියට හැඩ ගැහුණු චයිනීස් කෑම. හැබැයි ඔරිජිනල් චයිනීස් කෑම කාපු මනුස්සයා තමයි ඒකෙ නියම රස දන්නේ. ඉතින් "චයිනීස් කෑම කොහෙත් එකයි" කියලා හිතාගෙන ඉඳපු මගේ යාළුවත් ඇදගෙන මං ලඟදි දවසක ගොඩ වුණේ කොළඹ හතේ ට්සින් ටාඕ එකට.

කොළඹ රේස්කෝර්ස් එකේ පිහිටි "ත්සිං තාවෝ" තරමක් අලුත් කදිම චීන අවන්හලක්. ඒක මිල අධික තැනක් වුණත් ඒකේ කෑම ගෙවන ගානට වටිනවා.

Address

Race Course Promenade, Reid Avenue, Colombo 7

Directions

The Racecourse is across the street from Royal College on Reid Avenue (officially Philip Gunewardena). From Independence Avenue you can turn right opposite Maitland Crescent. There's parking. You can also walk here from Independence Square, just follow the road past Sri Lanka Foundation Institute.

Contacts

E-Mail Facebook Website

Open 11 AM to 3 PM, 6 PM to 11 PM

Cuisine

Fine Dining Chinese

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4


Latest